ක්‍රීඩාව සහ ජනමාධ්‍ය

ක්‍රීඩාව සහ ජනමාධ්‍ය

බ්‍රිතාන්‍ය ගවේෂණාත්මක මාධ්‍යවේදී ටොම් බෝවර් 2003 වසරේදී සිය 'බ්‍රෝකන් ඩ්‍රීම්ස්' නම් කෘතියෙන් බ්‍රිතාන්‍ය පාපන්දු ක්‍රීඩාව ගවේෂණය කළේය. 'ද ගාර්ඩියන්' පුවත්පතේ ස්ටීවන් ඩෝන්ස් සහ ඩන්කන් මැකේ 'රනින් ස්කෙයාර්ඩ්' කෘතිය සම්පාදනය කරමින් ක්‍රීඩාවට සම්බන්ධ දූෂණ විශාල ගණනක් ගවේෂණාත්මකව හෙළි කළහ. මෙම කෘති දැඩිව අන්තර්ජාතික අවධානයට පාත්‍ර වූයේ එම ගවේෂණාත්මක හෙළිකිරීම් මෙන්ම එම රටවල ක්‍රීඩා සංස්කෘතියද, ක්‍රීඩාව කෙරෙහි පුරවැසියාගේ අවධානයද ශක්තිමත් වූ නිසාවෙනි.

ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන නායකයා බීමත්ව රිය පදවා අනතුරකට ලක් වූ පුවත ඊයේ දිනයේ මෙරට ජාතික පුවත්පත්වලට ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය. මෙය ආසන්නතම සිදුවීම වුවත් පසුගිය සමය පුරා මෙරට ජනමාධ්‍ය තුළ ක්‍රීඩාව සම්බන්ධව පළ වූ බොහෝ පුවත්වලට පසුබිම වී පැවතියේ ක්‍රීඩාවේ දේශපාලනය සහ ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධ සිදුවීම්ය. ක්‍රීඩාවට වෙන් වූ පුවත්පත් ක්‍රීඩා පිටුවලටද විද්යුත් නාලිකාවල ක්‍රීඩා වැඩසටහන්වලටද ක්‍රීඩාව අතැර ඉහත කී ක්‍රීඩාවේ පසුබිම් ගැටුම් වාර්තා කිරීමට සිදු විය.

ජාතික තලයේ ක්‍රීඩකයන්/ක්‍රීඩිකාවන්ද අනෙක් මිනිසුන් මෙන්ම මනුෂ්‍ය පිරිසක් බව සැබෑය. සමවයස්වල අනෙක් තරුණ තරුණියන්ගේ සිතුම් පැතුම් ඔවුන්ට ඇති බවද ඇත්තය. නමුත් ජාතික තලයේ ක්‍රීඩකයන්ට පැවරුණු දැවැන්ත වගකීමක් ඇත. ඔවුන් ලෝකයක් ඉදිරියේ නියෝජනය කරන්නේ සමස්ත ශ්‍රී ලංකාවමය. ඔවුන්ගේ දක්ෂතා මෙන්ම හැසිරීමද පිළිබිඹු කරන්නේ සමස්ත ජාතියේම ගෞරවයයි. එමෙන්ම ක්‍රීඩාවේ පැවැත්ම රැඳී ඇත්තේ ක්‍රීඩකයන්ගේ විනය මතය. විනය නොතැකීම සහ දේශපාලනය ක්‍රීඩාවට කරන අතපෙවීම් මධ්‍යයේ ජනමාධ්‍යයට ඇස් කන් නොපෙනෙනා සේ මඟහැර සිටිය නොහැකිය. එනයින් ක්‍රීඩා වාර්තාකරණයට අත්ව ඇති ඉරණම ගැන වගකීමෙන් ක්‍රීඩකයන්ට මිදීමට හැකියාවක් නැත.

වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පැසසිය යුත්තකි. නමුත් එහි සීමාව ක්‍රීඩකයන් සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රයම තම වුවමනා එපාකම් වෙනුවෙන් භාවිත කරන මට්ටම දක්වා පහත හෙළන තෙක් ඉවසා සිටීම නම් එතරම් නුවණට හුරු ක්‍රියාවක් නොවේ.

අනෙක් අතට මෙම අර්බුද මෙරට පුරවැසියාගේ සහ ක්‍රීඩා සාහිත්‍යකරුවාගේ නොසැලකිල්ලේ පිලිබිඹුවකි. ක්‍රීඩා ක්ෂේත්‍රය අලළා මෙරට බිහිව ඇති කෘතීන් ගණන අතළොස්සකි. ක්‍රීඩාව ලෝකයට මඟ විවර කරන යතුරක් වුවද ක්‍රීඩාව සම්බන්ධයෙන් ගෝලීය දැනුම පුළුල් කරන දොරටුව බවට පත්වන්නේ ක්‍රීඩා සාහිත්‍යයයි. ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහාම වෙන් වූ මෙරට සමහර පාසල් සතුව පවා ක්‍රීඩාව සහ ලෝකයේ බිහි වූ විශිෂ්ට ක්‍රීඩකයන්ගේ අප්‍රතිහත කැපවීම ගැන ආදර්ශ කියැවීමට පොත්පත් නොමැති තරම්ය. වසර දහස් ගණනකට පෙර ජීවත් වූ යුද විරුවන් ජාතික වීරයන් ලෙස කියවෙද්දී මෑත කාලයේ බිහි වූ ජාත්‍යන්තරයේ නම් රැන්දූ දක්ෂයන්ගේ පුවත් මෙරට පොත්පත්වලින් ඈත් වී තිබේ.

ක්‍රීඩාවට කෙරෙන දේශපාලන බලපෑම් ගැන නිරතුරු මැසිවිලි නැඟේ. හුදෙක් දේශපාලන බල පරාක්‍රමය පෙන්වීමේ එක් දර්ශකයක් ලෙස ක්‍රීඩාව කෙරෙහි බලපෑම් කළ හැකි තරම පෙන්වීමට දේශපාලකයෝ උත්සුක වෙති.

පාකිස්තානයේ මේ වනවිට පාලන බලය උසුලන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. 1992දී ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනූ පාකිස්තාන කණ්ඩායමට නායකත්වය දුන් ඉම්රාන් ඛාන් දේශපාලකයකු සහ පරිපාලකයකු ලෙස වෙනස් ගමනක් යමින් සිටී. රටේ ක්‍රීඩාව පමණක් නොව පරිසර සමතුලිතතාව රැකීම, ජාත්‍යන්තර දේශපාලන සම්බන්ධතා ජයග්‍රහණය කිරීම මෙන්ම නීතියේ සමානාත්මතාව ඇති කිරීම සඳහාද සාධනීය පියවර ගණනාවක් ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.

ක්‍රීඩකයකුට හොඳ පරිපාලකයකු සහ දේශපාලකයකු විය හැකි බවට දකුණු ආසියාවෙන් කදිම උදාහරණ සපයද්දී අපි තවමත් ක්‍රීඩාවට හොඳ පරිපාලකයකු සොයමින් සිටිමු. ක්‍රීඩකයන්ට අයත් ක්‍රීඩාංගණයක් කිලිනොච්චියේදී විවෘත කිරීමේදී දේශපාලකයන්ට මුල් තැන දෙන සංස්කෘතිය කඩා බිඳ දැමීමට වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කිරීම පැසසිය යුත්තකි. එයින් ඔබ්බට ගොස් ක්‍රීඩාව 'ගොඩ දැමීමට' සෘජු සහ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ඔහුට හැකිදැයි බොහෝ දෙනා බලා සිටිති.

මාතෘකා