ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය

රටක් පාලනය කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කරනු ලබන්නේ ව්‍යවස්ථාදායකයෙනි. මහජනයා තම ඡන්දයෙන් එම බලය පවරන මහජන නියෝජිතයෝ ව්‍යවස්ථාදායකය නියෝජනය කරති. එහෙයින් මහජන යහපත සහ රටේ ඉදිරි ගමන සැලකිල්ලට ගෙන තුන්කල් දක්නා නුවණින් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙන ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම, පසුවිපරම ඔවුන්ගේ වගකීමය.

අධිරාජ්‍ය‍යෙන් නිදහස ලැබී වසර 70ක් ගතව තිබියදීත් ජාතික එක්සත්කම තහවුරු කෙරෙන ව්‍යවස්ථාවක් නිර්මාණය කරගත නොහැකි වීම රට මුහුණ දෙන බලගතුම ගැටලුවයි. ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කර ඒවා ක්‍රියාත්මක කළ හැක්කේ සෑම රටවැසියකුගේම අයිතිය සුරක්ෂිත කෙරෙන එබඳු ව්‍යවස්ථාවක් පවතින විටය.

එම අභියෝගය ජයගැනීමේ උත්සාහය දියත් වී ඇත. ඉතිහාසයේ පළමු වරට විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සැලසුම්කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන් හට විවිධ ජනතීරු වෙතින් ඉදිරිපත්ව ඇත.

කෘෂිකර්මය පිළිබඳ සකස්කළ ජාතික ප්‍රතිපත්තියක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත්ව ඇත්තේ ඒ අතරතුරය. මේ පිළිබඳව බලවත් උනන්දුවකින් කටයුතු කළ කෘෂිකර්ම ඇමතිවරයා කෘෂිකර්ම ක්ෂේත්‍රයෙහි සාධනීය වෙනස්කම් රැසකටද මුල පුරා තිබේ.

මීට කලකට පෙර පැවති පරිවාස ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස කටයුතු කළ අනුර කුමාර දිසානායක මහතාද කෘෂිකර්මය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට උනන්දු විය. ඔහුගේ යෝජනාවලිය ක්‍රියාත්මක නොවූයේ ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්ව ඊට එකඟ නොවූ හෙයිනි.

අධ්‍යාපනය හා සෞඛ්‍යය යනාදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද ජාතික ප්‍රතිපත්ති සැකසීමේ ඝෝෂාවද දිගු කලක පටන් පවතී. එහෙත් ඉතිහාසයේ සිදුවූ දේවල් අනුව පෙනී යන්නේ ඇතැම් ජාතික ප්‍රතිපත්ති ආණ්ඩු මාරුවේදී වෙනස් වන බවය. එසේ නම් ඒවා ආණ්ඩුවේ ප්‍රතිපත්ති විය යුතුය.

ජාතික ප්‍රතිපත්තියක් සාර්ථක වන්නේ පක්ෂ දේශපාලනයෙන් තොරව සියලු පාර්ශ්වවල අදහස් සැලකිල්ලට ගනිමින් එය සකස් කිරීමෙනි. ආණ්ඩු මාරුවකදී වෙනස් නොවන නෛතික බලයක් එයට අවශ්‍ය වේ. එමෙන්ම කුමන විරුද්ධ මත දැරුවද රටේ යහපත පළමුව සලකන අවංක බවද වැදගත් වේ.

බොහෝ දේශපාලකයන් හට නැත්තේද එයමය. ලකුණු වැටෙන්නේ කාටද යන්න සිතීම අශෝභන ලක්ෂණයකි. ජාතික ආර්ථිකයේ පංගුකාරිත්වය ගැන කුමන විතර්ක පැවතුණද කෘෂිකර්මය අපේ රටේ ප්‍රධාන ජීවනෝපායකි. අන් කිසිදු වෘත්තියකට වඩා ගැමියාගේ ජීවිතය සාරවත් කරන ජීවන ශික්ෂාවකි.

මෙහිදී යැපුම් කෘෂිකර්මය සහ වාණිජ කෘෂිකර්මයට ආවේණික ගැටලු හඳුනා ගනිමින් ගොවියාද පාරිභෝගිකයාද සුරක්ෂිත කෙරෙන නව වැඩ පිළිවෙලක් සැකසීමෙහිදී නවීන තාක්ෂණික දැනුමට සමානව ජනවේදයද ඇසුරු කළ යුතුවේ. බහුජාතික සමාගම්වල කුලීකරුවකු වී සිටින ශ්‍රී ලාංකේය ගොවියා ඉන් මුදවා ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම දිරි දිය යුත්තකි.

මාතෘකා