මානව හිමිකම් නම් වූ ‘බටහිර උගුල’

මානව හිමිකම් නම් වූ ‘බටහිර උගුල’

ශතවර්ෂ ගණනක සිට ආගමික නැඹුරුවක් ඇති ශ්‍රී ලංකාව වැනි රටවලට මානව හිමිකම් ගැන පාඩම් කියාදීමට බටහිර ජාතීන් උත්සාහ දරන බවට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් පියනම කළ ප්‍රකාශය බාල ගණයේ විහිළුවකි. පියනම මේ ප්‍රකාශය කර ඇත්තේ ශාන්ත මතෙව් රෝමානු කතෝලික දෙව්මැදුරේ ඉකුත් දා පැවති මංගල දේව මෙහෙයේදීය.

මේ ප්‍රකාශය විවිධ ආගම්වලට අයත් ජනප්‍රිය පූජකයන් විසින් කලක් තිස්සේම ලාබ ජනප්‍රියත්වය තකා ‍දෙසා බානු ලබන අංක එකේ කෙප්පයකි. මේ අතින් බලන විට ප්‍රජාතන්ත්‍රවාදය හා මානව නිදහස පිළිබඳව මෙලෝ හසරක අවබෝධයක් නොමැතිව දේශපාලන සංස්ථාව පිනවීම සඳහා බෑඟිරි ගාන ආගමික සංස්ථාවේ ‘ඓතිහාසික කාර්යයට’ කාදිනල්වරයාද අතගසා ඇති බව පෙනේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මුතිය පිළිගන්නා රටක් හැටියට හා ඊට සම්බන්ධ ප්‍රොටෝකෝලයට එකඟ වූ රටක් හැටියට ශ්‍රී ලංකාවට එම එකඟතා මඟහැර කටයුතු කිරීමේ හැකියාවක් නොමැත. කාදිනල්ගේ ප්‍රකාශය විමල් වීරවංශ ම‍න්ත්‍රීවරයා කලකට පෙර මහින්ද චින්තනය හෙවත් ගෝත්‍ර චින්තනය උඩදැමීම සඳහා මානව හිමිකම් සම්බන්ධයෙන් කළ වාචාල ප්‍රකාශවලට බෙහෙවින් සමානය. ස්වරය මුදු මොළොක් වුවද හරය එකය.

කාදිනල්වරයා සඳහන් කරන ආගමික නැඹුරුව විමසා බලමු. ලංකාවේ පසුගිය සියවසක ඉතිහාසය විමසා බැලුවහොත් දරුණුතම ලේ වැගිරීම් සිදුව ඇත්තේ ජාතිය හා ආගම මුල් කරගෙනය. බේරුවල ප්‍රහාරයෙන් පසුව සිදු වූ ගැටුම්වලදී අන්තර් ආගමික කමිටු මැදිහත්වීමෙන් යම් සමනය කිරීමක් කළද ආගමික සංස්ථාවෙහි ප්‍රධාන ධාරාව අනුගමනය කළේ නිහඬ පිළිවෙතකි. ශ්‍රී ලංකාව බෞද්ධයන් බහුතරයක් ජීවත් වන රටකි. එහිදී සෙසු ආගමිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම විෂයයෙහි බෞද්ධයන්ට පැවරෙන වගකීමද විශාලය. එහෙත් පසුගිය අවධියෙහි මුස්ලිම්, කිතුනු හා හින්දු ආගමික මධ්‍යථානවලට පහර දීම සඳහා බොදුබල සේනා වැනි ජුන්ටා කණ්ඩායම් පෙරමුණ ගන්නා විට විවිධ නිකායන්ට අයත් නාහිමිවරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අසමත් වූහ. ඇතැම් පාර්ශ්ව මෙය අනුමත කළහ. මෙය උච්චාවස්ථාවට පත් වූයේ රාජපක්ෂ පාලන සමයෙහිය.

බුදු දහම ආරක්ෂා කිරීමේ සුරදූතයා ලෙස පෙනී සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයෙහි මානව හිමිකම් ආරක්ෂා කිරීම බින්දුවට වැටිණි. ලෝකයේ රාජ්‍යයෝ ශ්‍රී ලංකාව කොන්කර දැමූහ. ඇඟලුම් කෝටා සහනය හා යුරෝපාවට මාළු අපනයනය කිරීමේ සහනය අහිමි වීම එක් සිදුවීමක් පමණි.

ආගමික රාජ්‍යය යනු මිථ්‍යාවකි. ආගමික සංස්ථාව සහ දේශපාලන සංස්ථාව අන්‍යෝන්‍ය වශයෙන් යැපෙමින් කරන කැත ගනුදෙනුව අනුව මානව හිමිකම් ආරක්ෂා කිරීම යනු විහිළුවකි. විමල් වීරවංශ වැනි දේශපාලන අවස්ථාවාදීන් මානව හිමිකම්වලට සරදම් කිරීම පුදුමයක් නැත. එහෙත් ආගමික නායකයන් මානව හිමිකම් බටහිර වුවමනාකම් ලෙස නම් කිරීම එම ආගම්වල ශාස්තෘවරුන්ටද කරන අපහාසයකි. මන්ද යත් ආගමික ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම්වල මානව හිමිකම් විශේෂ කොට සලකා ඇති හෙයිනි.

කාදිනල්වරයා පවසන පරිදි ආගමික නැඹුරුවක් ඇති ලංකාව ඇතුළු පෙරදිග රටවල සිදු කෙරෙන දරුණු ගණයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් අප අමතක කළ යුතුය. ඊට හේතුව බටහිර රටවල් ඒ පිළිබඳ උනන්දුවක් දැක්වීමය. එසේ නම් ලංකාව ඇතුළු පෙරදිග රටවලට ආර්ථික ස්වාධීනත්වයක් අවශ්‍ය වේ. එවිට තමන්ගේ මැට්ටං තමැට්ටං යන පදය නැටිය හැකිය. එහෙත් එය හුදු හිතළුවක් පමණි. බටහිරින් කීවද පෙරදිගින් කීවද වත්මන් ශිෂ්ට ලෝකය මානව හිමිකම් ආරක්ෂා කිරීම මූලික වගකීමක් ලෙස පිළිගනී. මියන්මාරයේ අවුන්සාන් සූකීට කටඋත්තර නැතිව ඇත්තේද ආගමික සංස්ථාවෙහි බලපෑම ඉදිරියේ සියලු වටිනාකම් ඉබිකටුවට අඬුඅකුලාගන්නා ඉබ්බියක මෙන් සඟවා ගැනීම හේතුවෙනි.

මාතෘකා