සුදුස්සන්ට රැකියා දීම ගැන මංගලගේ ප්‍රකාශය

සුදුස්සන්ට රැකියා දීම ගැන මංගලගේ ප්‍රකාශය

ජාතිය, ආගම හා දේශපාලන පක්ෂය අනුව රැකියා දීම වෙනුවට සුදුස්සාට රැකියා ලබා දෙමින් රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් සිටින බවට මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා කළ ප්‍රකාශය බැරෑරුම්ව සාකච්ඡාවට ගත යුත්තකි.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ රේගු පරීක්ෂකවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකදීය. මේ ප්‍රකාශය නිර්භීත එකකි. ඔහු ඒ බව ක්‍රියාවෙන්ද ඔප්පු කර ඇත. එ නම් රැකියා ලබා දීමේදී තම ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද පදනම ගැන නොසිතා රටක් හැටියට කල්පනා කිරීමය. ඒ අනුව කටයුතු කිරීමය. මෙය බොහෝ දේශපාලකයන් කෙරෙන් ගිලිහී යන ගුණයකි.

සුදුස්සන්ට සුදුසු තැන දීම සෑම තීරණාත්මක මැතිවරණයකම විපක්ෂයේ ප්‍රධාන සටන්පාඨය විය. එහෙත් බලය ලබා ගැනීමෙන් පසුව දියත්වූයේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාවලියකි. මේ නිසා සුදුස්සාට සුදුසු තැන දීම වචනවලට පමණක් සීමා විය.

ජනවාරි අට ජයග්‍රහනයෙන් පසුව අරලියගහ මන්දිරයේ "විශේෂ රැකියා කාර්යාලය" පිරික්සා බැලීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට දැකගන්නට ලැබුණේ රාජපක්ෂ ආණ්ඩුවේ නිල නොවන රැකියා ඇමැති වශයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කටයුතු කර ඇති බවය. ආණ්ඩු පක්ෂයේ ප්‍රබල මැති ඇමැතිවරුන් තම කොට්ඨාසයේ රැකියා අපේක්ෂකයන්ගේ අයදුම්පත් යවා ඇත්තේ අරලියගහ මන්දිරයේ "නාමල් රාජපක්ෂ රැකියා කාර්යාලයට" ය.

රාජ්‍ය සේවයේ පත්වීම්වලට ගොදුරු බිම වූයේ හම්බන්තොටය. කොටිම්ම බැංකුවලට හෙංචයියන් රිංගවීමේ තැත කොයි තරම් දුර දිග ගියේද යත් ලංකා බැංකු සභාපතිවරයා ඉල්ලා අස්වී ගෙදර ගියේය. රජ පවුලේ බේබිගේ අනුහස එතරම් ප්‍රබල විය. රජ පවුල පස්සෙන් ගිය දුප්පත් වහල්ලු මේ යථාර්ථය නොදැන සිටියහ. ආගමික පූජකවරුද වරදානවලට ලොල්ව රජතුමාගේ සාධාරණ පාලනයට ආශිර්වාද කළහ.

තරුණ අසහනයේ උල්පත් පෑදෙන්නේ වෙනස් කොට සැලකීමෙනි. උගත් තරුණ තරුණියන් මුළු ගන්වා දේශපාලන අන්තේවාසිකයන් ඉහළට ගැනීම පක්ෂ දේශපාලනයේ මජර උරුමයකි. 89 දෙවැනි කැරැල්ල මර්දනයෙන් පසුව ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා සිදුවූ තරුණ ඝාතන ගැන කම්පාවෙන් තරුණ අසහන කොමිෂන් සභාව පත් කළේය. රාජ්‍ය සේවා පත්වීම් ලබාදීමේදී තරඟ විභාග පවත්වා සුදුස්සන් බඳවා ගැනීමට කොමිසම නිර්දේශ කළේය. එම කොමිසම තරුණ අසහනයට බලපෑ ප්‍රධාන හේතුවක් හඳුනා ගැනීමේ ප්‍රතිඵලය එය විය. එහෙත් පටු දේශපාලන වුවමනා බලවත් වූ හෙයින් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක වීම අඩාළ විය.

ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහි ඇති පසුගාමී බව නිසා පාක්ෂිකයන්ට සැලකීම ඡන්ද දායකයෝ අපේක්ෂා කරති. ඒ අනුව මහජන නියෝජිතයෝ එම අවශ්‍යතාව ඉටු කරති. මෙය ජාඩියට මුඩිය ගැලපීමක් වැන්න. මේ අශිෂ්ට සම්ප්‍රදාය වෙනස් කිරීම ඇතැමුන්ගේ නොසතුටට හේතුවක් විය හැක්කේ එනිසාය.

රටට ආදරය කරන විචාර බුද්ධියක් ඇති කිසිවකු මීට එරෙහි වේ යැයි සිතිය නොහැක. එහෙයින් මංගල සමරවීර ඇමැතිවරයාගේ තීන්දුව පළමුව ආණ්ඩුවේ තීන්දුව බවට පත් විය යුතුය. දෙවනුව එය ජාතික ප්‍රතිපත්තියක් බවට පත්කර තරුණ අසහනයට පිළියම් යෙදිය යුතුය.

මාතෘකා