වගා හානි වැළැක්වීමේ නිර්භීත තීන්දුවක්

වගා හානි වැළැක්වීමේ නිර්භීත තීන්දුවක්

වල් ඌරු මස් අලෙවිය සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් මෙතෙක් පැවතුණ නීති සංශෝධනය කිරීමට රජය තීන්දු කර තිබේ. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. මේ වනාහි දීර්ඝ කාලයක් තිස්සේ මේ සම්බන්ධයෙන් පැවති සංවාදයේ එක් ප්‍රතිඵලයකි.

පුනරුද ව්‍යාපාරය රට පුරා පැවැත්වූ මහජන කතිකාවලදී ගොවීහු මෙය රටේ පවතින ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කළහ. 2018 ජනවාරි මාසයේදී ජනාධිපතිවරයා මේ පිළිබඳව කෘෂිකර්ම ඇමතිවරයා සමඟ සාකච්ඡා කළේය. වනසතුන් නිසා වාර්ෂිකව රුපියල් බිලියන 18ක වගා හානියක් සිදුවීම සැලකිල්ලට ගනිමින් සමීක්ෂණයක් පවත්වා එය වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග පිළිබඳ තමා දැනුවත් කරන මෙන් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

නව කැබිනට් පත්‍රිකාව අනුව වල් ඌරුමස් ප්‍රවාහනය හා අලෙවිය පිළිබඳව තිබූ නීතිය ලිහිල් වනු ඇත. මෙය ඉතා සාධනීය තීන්දුවකි. තමා දුක් මහන්සි වී කරන ගොවිතැනෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සතුන් වනසන විට ඊට එරෙහිව ක්‍රියාත්මක වීමේ හැකියාවක් ගොවීන්ට නොතිබිණ. වල් ඌරුමස් ළඟ තබා ගැනීම හා ප්‍රවාහනය කිරීමේ වරදට උසාවිය ගොවියාට විශාල දඩ මුදලක් පනවයි. වගාව විනාශ වුණ පාඩුවට අමතරව දඩ ගෙවන්නටද සිදුවීමෙන් ගොවියා අන්ත අසරණ තත්වයට පත් විය. මෙබඳු සිදුවීම් දිවිනසාගැනීමකින් කෙළවර වූ අවස්ථාද තිබේ.

වනසතුන් කරන විනාශය නිසා ගොවිතැනෙන් 40% සිට 65% දක්වා ප්‍රමාණයක් විනාශ වන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ තොරතුරුවලින් අනාවරණය වේ. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. ගොවීන් දිගින් දිගටම අසරණ වෙද්දී එම ප්‍රශ්නයට විසඳුම් සෙවීම ප්‍රමාද වූයේ ආගමික බලපෑම ඇතුළු විවිධ හේතු නිසාය.

වගා හානිවලින් වැඩිම පංගුව බැර වන්නේ වල් ඌරන්ටය. මොනරු, රිළව්, වඳුරෝ, දඬු ලේන්නු සහ වන අලින් කරන විනාශයද සුළුපටු නොවේ. මේ ඇතැම් සත්ව වර්ගවල අධිව්‍යාප්තියක් පවතී. ආගමික හේතු නිසා මොනරා මැරීමේ බියක්ද ජනවිඥානයෙහි පවතී. සත්ව හිංසාවට බියෙන් වගාව විනාශ වන්නට ඉඩ හැරීම ජනතාවගේ පෝෂණය හා රටේ ආර්ථිකයට කරන බලපෑම සුළුපටු නොවේ.

බුදු දහම යනු ප්‍රායෝගික දහමක් විනා අන්තවාදී දහමක් නොවේ. බුදු දහමින් පෝෂිත රටක් හැටියට එහි ප්‍රායෝගික වටිනාකම පිළිබඳ අවබෝධය බෞද්ධයන්ට වැදගත් වේ. මේ පිළිබඳ අගනා අදහස් සමුදායක් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘතිවල අන්තර්ගත වේ.

දුටු ගැමුණු රජුගේ කාලයෙහි සෙබළුන් අවි හරඹ මනාව ප්‍රගුණ කර සිටි බවත් යුද්ධයක් නොපවතින අවස්ථාවල ඔවුන් අභ්‍යාසය සහ මස් කෑම සලකා වන වැදී දඩයම් කළ බවත් වික්‍රමසිංහ සඳහන් කරයි. පැරණි හේන් ගොවීහූ උගුල් අටවා සතුන් දඩයම් කර අහරට ගත්හ. ගොවිතැන රැකෙන අතර ගොවිතැනට දඩමස්ද ලැබේ. එයට නීතිය හරස් නොවීය.

නීතියේ හා ආගමේ බලපෑම නිසා වත්මනෙහි ගොවියා අන්ත අසරණ බවට පත් විය. සමහර පළාත්වල ගොවිතැන අතහැර දමා ඇත. එහෙයින් ආණ්ඩුවේ තීන්දුව ප්‍රගතිශීලී හා ප්‍රායෝගික එකක් බව සඳහන් කළ යුතුය. මෙහිදී සත්ව අහිංසාවාදී සංවිධාන, දේවධර්මවාදීන් හා අවස්ථාවාදී කල්ලි සුපුරුදු පරිදි හිස එසවීමට ඉඩ තිබේ.

චීනය සහ තායිලන්තය යනාදී බෞද්ධයන් ජීවත්වන රටවලද වගාවට සතුන්ගෙන් වන හානි සලකා බලා අවස්ථාවාදීන්ට ඉඩ නොදී නිර්භීත පියවර ගැනීමට පාලකයෝ නොපසුබට වූහ. වගාවට හානි කරන ඇතැම් සත්ව වර්ග චීන ජාතිකයන්ගේ ආහාර වේලට එක් වූයේද විකල්ප විසඳුමක් ලෙසය. මේ අප අලුතින් සිතිය යුතු කාලයයි.

මාතෘකා