ඓතිහාසික මාධ්‍ය හමුව

ඓතිහාසික මාධ්‍ය හමුව

හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවැත්වූ මාධ්‍ය හමුව ඉතිහාසගත වන එකකි. ඊට හේතුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට සෑහීමකට පත්විය හැකි සාධාරණ පිළිතුරක් දීමෙහි ඔහු අසමත් වීමය.

හිටපු ජනපතිවරයා දෙපසින් දෑගසව්වෝ මෙන් දෙදෙනෙක් සිටියහ. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ හිටපු ඇමති විමල් වීරවංශ යනු මේ දෙදෙනාය. මේ දෙදෙනාට එරෙහිව දැනට පැවරී ඇති නඩු අනුව මොවුන් මොන ජාතියේ පුද්ගලයන් දැයි ඉදිරියේදී නීතියෙන්ම ඔප්පු වනු ඇත.

සමාජය ඉදිරියේ දැනටම ඔවුන් වරදකරුවන් වී හමාරය.

මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ රට මුහුණ දෙන ගැටලු පිළිබඳ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීමටය.

කෙතරම් ප්‍රතාපවත් නායකයකු වුවද ඉතිහාසයේ කිසිම අවස්ථාවක ඔහු විචක්ෂණශීලී අයුරින් කුමන විෂයයක් සම්බන්ධයෙන් හෝ සාර්ථකව කරුණු දක්වා ඇතැයි කීමේ සාක්ෂි නැත.

ආකර්ෂණීය පෙනුම නඩත්තු කිරීම, රජ කෙනෙකු හැටියට වන්දිභට්ට මාධ්‍ය විසින් මහජන සිත්හි ප්‍රතිරූපයක් ගොඩනඟා තිබීම, යුද්ධය ජයගත් නායකයා ලෙස ඔජ වැඩවීම යනාදී සාධක මත රාජපක්ෂ ප්‍රතිරූපය හුළ‍ං බෝලයක් සේ පිම්බී උඩ ගියේය. ජනපති හටනෙන් පැරදීමෙන් පසුව හුළං බෝලය පිපිරී ගියේය.

වන්දිභට්ට මාධ්‍ය තවම ක්‍රියාත්මක වුවද ප්‍රතිරූපය බිඳ වැටී හමාරය.

ශ්‍රිලනිපය මෛත්‍රී සමඟ නැතත් තමන් සමඟ ඇතැයි යන ප්‍රවාදයද මාධ්‍ය හමුවේදී අහෝසි විය. ශ්‍රිලනිපයේ ප්‍රබලයන් මහින්ද සමඟ සිටින්නේ නම් ජාතිවාදය හා ඊනියා දේශප්‍රේමය අඩයාළමක් කරගත්, මහින්දගේ ප්‍රතිරූපයේ එල්ලුණු, නමට පමණක් දේශපාලන පක්ෂ බවට පත්වූ ලුම්පන් කණ්ඩායම් දෙකක් මාධ්‍ය හමුවේ දෑගසව්වන් ලෙස කැඳවනු ඇතැයි සිතිය නොහැකිය.

රට දරුණු අගාධයකට ඇද දැමීමට හවුල්වූ, නාසි චින්තනයට ළංවූ චින්තනයක් ඇති දෙපලක් මාධ්‍ය හමුවේ ප්‍රධාන චරිත දෙකක් බවට පත් වීමෙන් පෙනෙනුයේ මහින්ද තව දුරටත් ශක්තිමත් දේශපාලන පදනමක් අහිමි නන්නත්තාර දේශපාලනයකට පිවිස ඇති බවය.

කීත් නොයාර් පැහැර ගැනීමට මුල් වූ පුද්ගලයන් ගැන මාධ්‍යවේදියකු ඇසූ පැනයට මහින්දට කටඋත්තර නැති විය. ෆෝබ්ස් ජාත්‍යන්තර සඟරාව මෑතදී ලංකාවේ ඉහළම ධනපතියන් තිදෙනා නම් කළේය. ධම්මික පෙරේරා, මහින්ද රාජපක්ෂ සහ හැරී ජයවර්ධන එම තිදෙනාය.

තම ශිෂ්‍ය සමයෙහිදී දුම්රියෙන්, බස්රියෙන් අගනුවර පැමිණ අධ්‍යාපනය ලැබූ මහින්දට ලංකාවේ ලොකුම ධනවතකු වීමට තරම් දේපලක් උරුමයෙන් නොලැබිණ. එසේ නම් වසර දහයක් රට පාලනය කළ රාජපක්ෂ පවුල ලංකාවේ වෙනත් කිසිම දේශපාලන පවුලකට වඩා බලගතු පවුලක් වූයේ කෙසේද?

දූෂණය, භීෂණය, මර්දනය අතින් ඉහළම තැනකට රට ගෙන ගියේ රාජපක්ෂ පාලන සමයේදීය.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් කඩවීම් අතින් නරකම ප්‍රතිරූපයක් ඇති වූයේ එසමයෙහිමය.

සත්‍ය වශයෙන්ම මාධ්‍ය හමුවක් මගින් ඔහු කළ යුතුව ඇත්තේ තම පාලන සමයෙහි රට තුළ සිදුවූ ගරාවැටීම් පිළිබඳ පාපොච්චාරණයකි.

කිසිවෙක් සියල්ල දන්නේ නැත. නොදන්නා බව දන්නා පුද්ගලයා නොදන්නා දේට කට දමන්නේද නැත. බොහොමයක් මාධ්‍යහමු කෙලවර වන්නේ 'ගැලරි ප්‍රශ්න' අසන මාධ්‍යවේදීන්ගේ සහ ඊට නොමසුරු පිළිතුරු දෙන දේශපාලනඥයින්ගේ නාටකයකිනි.

එහෙත් හිටි අඩියේ මාධ්‍යවේදියෙක් රුපියල සහ රටේ ආර්ථිකය ගැන අසන විට රාජපක්ෂ මහතා තක්බීර් වී ගියේය. ඔහු සියල්ල දන්නා බවට ඔහුගේ සමීපතයින් වහසි බස් දෙඩුවද අප ඔහු ගැන ඒ තරම්ම 'සරල' තැනකට දමන්නේ නැත. රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් එහෙම කියවීම ගැන විමතියක්ද නැත. විමතිය තියෙන්නේ 'හිටපු ජනාධිපති ' වරයාගෙන් එහෙම තක්බීර් වීමක් සිදුවීමය. ඇරත් හෙතෙම හිටපු මුදල් ඇමැතිය...!

ඒ එක්කම කුපිත වී 'ඔයා මොන මාධ්‍යයේද? කියන්න බලන්න' යැයි කියන්නටත්, මාධ්‍යවේදියාගේ පිළිතුරෙන් පසු අවඥාවෙන් සිනාසෙන්නටත් ඔවුනට තිබෙන අයිතියත් පුදුමාකාරය.

මාතෘකා