පොත් වසන්තයට පෙර...

පොත් වසන්තයට පෙර...

සාහිත්‍ය වනාහි කලාව නමැති කුලකයේ විශිෂ්ට නිර්මාණයකි. යම් ආහාරයක හෝ පානයක රසය දැනෙනුයේ දිව හා ඒ ආශ්‍රිත රස නහර නැතහොත් ඊට අදාළ ස්නායු පද්ධතියට පමණි. එහෙත්, එහෙත් සාහිත්‍ය රසය මතුපිටින් කෙනෙතු දක්නා දෙයක් නොවන අතර එය සොයා යා යුතුය. සොයා ගැනීමට නම් හඳුනා ගත යුතුය. හඳුනා ගැනීමට නම් ඒ පිළිබඳ දත යුතුය.

සාහිත්‍ය ගැන සටහනකට අප යොමු වන්නට හේතු කිහිපයක් විණි. ඉන් පළමුවැන්න මේ දිනවල සාහිත්‍ය සම්මාන උලෙළ කිහිපයක්ම පැවැතීමය. දෙවැන්න සෑම දිනකම පාහේ පොත් දොරට වැඩීමක් සිදු වීමය. තෙවැන්න හෙට සිට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹදී ආරම්භ වීමය.

සාහිත්‍ය කලාව කෙරෙහි නැමියාවක් පවතින සමාජය අතිශයින් පිරිපුන් සමාජයකි. ලෝකයේ බොහෝ රටවල් භූගෝලීය රාමුවෙන් පිට පැන ලෝකය දික්විජය කළේ කීර්තිධර සාහිත්‍ය නිර්මාණ තුළිනි. හෝඩි පොතක් නැති රටක්ව තිබූ කිර්ගීසියාව ලෝකයේ අග්‍රගණ්‍ය ලේඛකයින් රැසක් බිහි කරන්නේ රුසියන් සාහිත්‍ය වංශ කතාව ලෝකයේ ඉහළම තැනක රඳවමිනි.

හෝඩි පොතක්වත් නැතිව, ලෝකයෙන් හුදකලාව බුද්ධිහීනව, ගොපලු ජීවිත ගෙවූ කිර්ගීසියාවේ මිනිසුන්ට බොල්ෂෙවික් විප්ලවයෙන් ලැබුණු මාහැගි දායාදය අධ්‍යාපනයයි. පුෂ්කින්, ගොගොල්, චෙකොෆ්, දොස්තයෙව්ස්කි, තෝල්ස්තෝයි, කුප්රීන්, තුර්ගිනිෆ්, බුනින්, ගොන්චාරෙව්, ලර්මන්තොව්, ගෝර්කි යනාදී සද්ධන්ත සාහිත්‍යයධර කුලකයට ෂෝලහොව්, පැඩින්, පවුස්තොව්ස්කි, ලියනිඩ් ලියනෝව්, ඔස්ත්රොයව්ස්කි, බන්දාරොව්, තිකනෝව්, සිමනෝව්, ග්රැිනින්, ගම්සාතොව්, රස්පුටින්, රිටිකියු, යෙව්ෂෙන්කෝ, අයිත්මාතොව් වැනි සාහිත්‍ය බලකණු ගොන්නක්ම කොලපාට තණ පිරුණු රටක බිහි වන්නේ විප්ලවයේ දායාදවලට පිං සිද්ධ වෙන්නටය.

ශ්‍රී ලංකාව තිස් වසරක යුද්ධයකින් පීඩා විඳ නිදහස් වූ රටක් වුවද හරි හමන් සහිත්‍යයක් හෝ කලාවක් තුළින් ඉදිරියට ආවේ නැත.

ඒ වෙනුවට ගොඩනැඟුණේ 'චින්තනය සැනසෙන' නිර්මාණ සිදු කරන වට්ටෝරු ශිල්පීන්ය.

අප සාහිත්‍ය ගැන කතා කරනුයේ එවැනි තත්ත්වයක් තුළය. පොත් ප්‍රදර්ශනය සහ සාහිත්‍යමය කටයුතු වඩ වඩාත් සමාජයට අවැසි වන්නේ එයින් සමාජය කිසියම් පරිචයක් සහ පෙරටුගාමීත්වයක් අත්පත් කර ගන්නා හෙයිනි. රසඥතාවයෙන් හීන කායික සංතර්පණයම වින්දනය කරගත් සමාජයක් එයින් ඔසවා තබන්නට තවදුරටත් සාහිත්‍යයට බැරිකමක් නැත. පොත් ප්‍රදර්ශනය උදෙසා දිනකට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනකාය සාහිත්‍යලෝලීන්ම යැයි කියන්නට අපි ඉක්මන් නොවෙමු. එහෙත්, ඔවුන් පැමිණෙනුයේ පොත් ප්‍රදර්ශනයටය. එය වඩාත් ප්‍රශස්ථ තත්ත්වයකි. සාහිත්‍ය රසාස්වාදයෙන් ඈත් වී වෙනත් ආශ්වාදයන් සොයා දුවන පරපුරක් 'රැල්ලක්' ලෙස හෝ සාහිත්‍යය වෙත නැඹුරු කිරීම බෙහෙවින්ම වටනේය.

”නුදුරු අනාගතයේදීම අතිදක්ෂ ලේඛකයින් එක්දාස් පන්සීයක් විතර බිහිවේය කියලා අප බලාපොරොත්තු විය යුතු නැහැ. නමුත් අපගේ සංගමය හේතුකොටගෙන, එවැනි දක්ෂ ලේඛකයින් පනහක් බිහිවේය කියල අපි හිතමු. මේ පනස් දෙනාගෙන් අසමාන ධී ශක්තිය තියෙන පස් දෙනෙක් හිටීවි කියල අපි හිතමු. ඉතිරි හතළිස්පස්දෙනා දක්ෂ ලේඛකයින් වුණහම හොඳටම ඇති....”

මෙහෙම කීවේ, 1934 අගෝස්තු 17 වැනිදා ‍ මක්සිම් ගෝර්කිය. ඒ ඔවුන්ගේ 'සිහිනය'යි. ඉතින් කවදාක අපි පිහිනමුද ඒ ගඟේ..

මාතෘකා