සමෘද්ධිය සහ දේශපාලනය

සමෘද්ධිය සහ දේශපාලනය

මාතලේ දිස්ත්‍රික් පාලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න, අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රදේශයේ පැවති උත්සවයක් වර්ජනය කර ඇත. ඇය එජාප මන්ත්‍රීවරියකි. සමෘද්ධි ප්‍රතිලාභ ලැබිය යුතු අය සිටියදී නුසුදුස්සන්ට ලබාදී ඇති බවට ඇය චෝදනා කරයි.

ඇගේ චෝදනාව සාධාරණය. මෙය අගමැතිවරයාට හෝ එම පක්ෂයට එල්ල වූ විරෝධයක් නොවේ. ක්‍රමවේදයට එල්ල වූ විරෝධයකි. එසේ හෙයින් එහි වරද සොයා නිවැරදි කිරීම ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යයට හිතකරය.

සමෘද්ධිලාභීන් තෝරා ගැනීමේදී දේශපාලන පක්ෂග්‍රාහිත්වය සලකා බලන්නැයි අගමැතිවරයා කොතැනකවත් පවසා නොමැත. එසේ නම් මෙහි වැරැද්ද සිදු වූ තැන සොයා ගත යුතුය.

සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ වූයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩු පාලන සමයේදීය. එතෙක් පැවතුණේ ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක කරන ලද ජනසවිය වැඩසටහනයි. පාක්ෂිකයන්ට සැලකීම වෙනුවට සැබෑ සුදුස්සන් සොයා ඔවුන් වෙනුවෙන් සහනාධාර සහ ආර්ථික ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඔහුගේ අවංක අභිලාෂය විය. බිම් මට්ටමේ ක්‍රියාකාරිත්වයේදී ගැටලු පැන නැගුණු අවස්ථා තිබිණ. එහිදී ආර්. ප්‍රේමදාස මහතා සෘජුව ඊට මැදිහත් වී සුදුසු පියවර ගත්තේය.

පොදු පෙරමුණු ආණ්ඩු කාලයෙහි ජනසවිය වෙනුවට සමෘද්ධි වැඩසටහන දියත් කෙරිණ. විෂය බාර ඇමතිවරයා වූයේ එස්.බී. දිසානායකය. සමෘද්ධි නිලධාරීන් බඳවාගැනීමේදී මෙන්ම සමෘද්ධිලාභීන් තෝරාගැනීමේදීද දේශපාලන පක්ෂපාතී බව සලකා ඇතැයි චෝදනා එල්ල විය. එකල පැවති ඇතැම් මැතිවරණවලදී හොර ඡන්ද 50 බැගින් දැමීම සඳහා ඇමතිවරයා සමෘද්ධි නිලධාරීන්ට උපදෙස් දුන් බව ලිඛිත සාක්ෂිවලින් අනාවරණය විය. එම ආණ්ඩුව මහජන අප්‍රසාදයට ලක්වීම කෙරෙහි බලපෑ එක් කරුණක් වූයේද සමෘද්ධිලාභීන් සහ සමෘද්ධි නිලධාරීන් දේශපාලන අඩයාළමක් කරගැනීමය.

මේ නිසා චෝදනා රැසක් එල්ල විය. එකල ඇමතිවරයා ඒවාට සාධාරණ පිළිතුරක් දෙනු වෙනුවට වැරැද්ද යුක්තිසහගත කළේය.

වත්මන් ආණ්ඩුව රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකින් නිර්මිත හවුල් පාලනයකි. එනිසා ජනසවිය සහ සමෘද්ධි යන වැඩසටහන් දෙකෙහිම සාධනීය ලක්ෂණ සහ අඩුපාඩු විමර්ශනය කර යාවකාලීන කිරීමේ හැකියාව පවතී.

සමෘද්ධි ව්‍යාපාරය එස්.බී.දිසානායක ඇමතිවරයා විසින් මෙහෙයවන ලද අව‍ධියෙහි නින්දිත අයුරින් දේශපාලන අඩයාළමක් කරගත් ආකාරය සමාජයේ සංවාදයට ලක් විය. මතුගම සමෘද්ධි නිලධාරියකු මේ ක්‍රියාදාමයට එරෙහිව පැවරූ නඩුවක් විභාග කළ අධිකරණය සාධාරණ විනිශ්චයක්ද ලබා දුන්නේය. මේවා ඉතිහාසයෙන් ඉගෙන ගත යුතු අනගි පාඩම්ය.

සියලු දීමනා සහිතව රු. 40,000ක පමණ වැටුපක් ලබන සමෘද්ධි නිලධාරීන් 27,000ක් පමණ සේවයෙහි යොදවා තිබේ. සමෘද්ධි ප්‍රතිලාභීන් 51 දෙනකුටම එක් නිලධාරියකු බැගිනි. මේ සා පැතරුණු වැඩසටහනක ඉලක්ක සපුරා ගැනීම ප්‍රමාද වේ නම් එහි කොතනක හෝ වරදක් ඇත.

සමෘද්ධි ප්‍රතිලාභ ලැබීමේ සුදුසුකම් ඇති, ප්‍රතිලාභ නොලබන සංඛ්‍යාව 380,000ක් පමණ වන බව රජය ගණනය කර ඇත. මෑතකදී සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීම ඇරඹුණේ ඔවුන් සඳහාය.මෙහිදී එම සමීක්ෂණය හරියාකාරව කර නැතිනම් ඒ වරද නිවැරදි කිරීමට රජය තවමත් ප්‍රමාද නැත.

එසේ නොකළ හොත් සිදුවනුයේ හිටපු සමෘද්ධි ඇමති එස්.බී.දිසානායක ඇති කළ කැලල නැවත මතු වීමය. එහි ප්‍රතිපලය රජය අප්‍රසාදයට ලක් වීමය.

අනෙක් වැදගත් කරුණ වන්නේ සමෘද්ධි වැඩපිළිවෙළ දිගු කලක් ක්‍රියාත්මකව තිබියදීත් දරිද්‍රතා රේඛාව වෙනස් නොවීමේ හේතු විමසා බැලීමය.

මේ වනාහී ගැඹුරු සමාජ විමර්ශනයකින් අනාවරණය කරගත යුත්තකි.

මාතෘකා