ශිෂ්‍යත්වයේ පීඩනය අඩු කිරීම

ශිෂ්‍යත්වයේ පීඩනය අඩු කිරීම

පහේ ශිෂ්‍යත්වයෙන් සමත් වන දරුවන්ට ලබාදෙන මාසික දීමනාව වැඩි කිරීම සහ ශිෂ්‍යත්ව ප්‍රතිලාභ ලබන සිසුන් ගණන වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ. මේ වනාහි ශිෂ්‍යත්ව විභාගයේ පීඩාකාරී බව සහ එහි තරඟකාරී බව අඩු කිරීම පිළිබඳව කලක් තිස්සේ ඇති වූ සංවාදයෙහි එක් ප්‍රතිඵලයකි.

වසරක් පාසා ලක්ෂ තුනක පමණ සිසුන් පිරිසක් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින බව වාර්තාගතය. ශිෂ්‍යත්වයෙන් සමත්ව ශිෂ්‍යාධාර ලබන සංඛ්‍යාව 15000ක් පමණ වේ. මෙයින් පෙනී යන එක කරුණක් වන්නේ සමත්වන ප්‍රතිශතය විභාගයට පෙනී සිටින ගණනින් 1% ක් පමණ වන බවය. එයිනුත් ජනප්‍රිය පාසලක් හිමිවන්නේ 1%කට පමණක් බව සඳහන්ය. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. එය එසේ වන්නේ 1%ක් වන ගොනුවට තම දරුවා ඇතුළත් කිරීම සඳහා වැඩිහිටියන් මාරාන්තික පොරයකට අවතීර්ණ වීම හේතුවෙනි. මෙය දරුවන් කායික හා මානසික වශයෙන් පිරිහීමේ සාධකයක් බවට පත් විය.

මේ හේතුවෙන් දරුවාගේ නිදහස සම්පූර්ණයෙන්ම අහිමි වෙයි. කෙළි සෙල්ලම් හෝ විනෝදයට අවස්ථාවක් නොලැබීමෙන් ඔවුන්ගේ සියුම් හැඟීම් තුරන් වෙයි.

වැඩිහිටියන් තමන්ට දිනාගත නොහැකි වූ අරමුණු දරුවන් ලවා දිනවා ගැනීමට වක්‍රව උත්සාහ දැරීම නිසා දරුවන්ගේ ජීවිතය අසහනකාරී එකක් බවට පත් වෙයි.

ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වූයේ 1945දී නිදහස් අධ්‍යාපන පනත සම්මත වීමේ ප්‍රතිඵලයක් හැටියටය. ගම්බද දක්ෂ දරුවන්ට පහසුකම් සහිත විදුහල්වල අධ්‍යාපනය ලැබීමේ වරම මෙයින් ලැබිණ. ඒ සඳහා නේවාසික පහසුකම් සහිත මධ්‍ය මහා විද්‍යාල පද්ධතියක් ආරම්භ කෙරිණ. 50, 60, 70 දශකවල මෙරට උගත් මධ්‍යම පන්තියක් බිහි වූයේ එහි අනුහසිනි. ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගරයන්ගේ තුන්කල් දක්නා නුවණෙහි ප්‍රතිඵලය එයයි.

රටේ සමාජ දේශපාලන ක්ෂේත්‍රවල යම් ප්‍රබුද්ධ ලකුණක් වී නම් නිදහස් අධ්‍යාපනය එහි පසුබිමෙහි වූ බව පිළිගත යුතුය. එහෙත් පසුකාලයෙහි නිදහස් අධ්‍යාපන පනත කප්පාදු කරමින් එය විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් බවට පත් කරන ලදි. සෞන්දර්ය විෂයන් කප්පාදු කෙරිණි. ලෝහ වැඩ, අත්කම්, මැටි වැඩ යනාදී වශයෙන් වෘත්තිය කුසලතා වර්ධනය කිරීමේ විෂයන් ඉවත් කෙරිණ. මානව ශාස්ත්‍ර‍ විෂයයන්ද සීමා කෙරිණ. අධ්‍යාපනයෙහි අරමුණුවලට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධ ක්‍රියාදාමයක් දියත් විය. මෙය සමාජ දේශපාලන ගරා වැටීම කෙරෙහිද බලපෑවේය.

අවසානයේදී සිදු වූයේ දෙමාපියන් දරුවන්ද ඇදගෙන ශිෂ්‍යත්ව මිරිඟුව පසුපස දිවීමය. මෙයින් දරුවෝද දෙමපියෝද හති වැටුණහ.

මානව දයාවෙන් යුතු මිනිසුන් වෙනුවට ආත්මාර්ථකාමීහු බිහි වූහ. ඔවුහු සමාජය සුන්බුන් කරන උගත් මොළකාරයන් බවට පත් වූහ.

තරුණ අසහනය සමාජ පිළිලයක් බවට පත් විය.

මේ පිළිබඳ දීර්ඝ වශයෙන් අධ්‍යයනය කළ ඇතැම් අධ්‍යාපනඥයෝ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට යෝජනා කළහ. ඇතැම්හු එහි බර හෑල්ලු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්හ. ඉහළ ලකුණු ලබාගෙන තිබියදීත් අසමතුන් ලෙස නම් කිරීමේ අසාධාරණය පෙන්වා දුන්හ.

ආණ්ඩුව ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් සාධනීය වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කිරීමේ පසුබිම එයයි. මෙය කාලෝචිත පියවරක් බව කීම සැමතින්ම යුක්ති යුක්තය.

මාතෘකා