දූපත් මානසිකත්වය

දූපත් මානසිකත්වය

රාජිත සේනාරත්න ඇමතිවරයා කෙළින් කතාකරන්නකු හැටියට ප්‍රසිද්ධ වූ අයෙකි. විමල් වීරවංශ මන්ත්‍රීවරයාද කෙළින් කතාකරන්නකු හැටියට සමහරු පිළිගනිති. වීරවංශ කතා කරන්නේ පපුවටය. ඕනෑම බොරුවක් සත්‍යයක් සේ ඒත්තු ගැන්වීමේ මුඛරිකම ඔහුට ඇත. එහෙත් රාජිත ඇමතිවරයා කතා කරන්නේ ඔළුවටය. සත්‍යය ව්‍යාජත්වයේ සළුපිළිවලින් දැවටීමේ වුවමනාවක් ඔහුට නැත.

මෑතදී ඔහු සුපුරුදු ලෙස කෙළින් කතාවක් කළේය. ස්ථානය ලේක්හවුස් ආයතනයයි. නිමිත්ත 'සුව අරණ' පුවත් අතිරේකයෙහි වර්ෂ පූර්ණයයි.

ඔහුගේ ප්‍රකාශයෙහි සාරවත්ම කොටස මෙසේය.

"මේ දූපත තමයි ලෝකයේ තිබෙන ලොකුම රාජ්‍යය කියලා හිතාගෙන ඉන්න අය තමයි මෙහෙ ඉන්නේ. ඒ නිසා කවදාවත් ලේසියෙන් දියුණු වෙන්න බෑ. මේකෙ තියෙන ඔක්කොම දියුණු වුණා කියලා හිතාගෙන ඉන්න අය තමයි මෙහෙ ඉන්නෙ. එහෙම හිතන නායකයොත් මේ රටේ ඉන්නවනෙ. ඒ තරම් දේශප්‍රේමී කියලා කියන්නේ. ලංකාව ලෝකයේ උඩින්ම ඔසවලා කයිවාරු ගැහුවම එයා තමයි මේකෙ ඉන්න දේශප්‍රේමියා. යථාර්ථය කතා කරන කෙනා තමයි දේශද්‍රෝහියා.ඒ තමයි මේ රටේ ජනවිඥානය. ඡන්දය තියෙන්නෙ එතැන"

ඇමතිවරයාගේ මේ ප්‍රකාශය නිදා සිටින්නවුන්ගේත් බොරුවට නිදාසිටින්නවුගේත් නිදිමත කඩනසුලුය. කෙලමෝලෙන් ඇන්නත් තේරුම් නොගන්නා අයට සත්‍ය වටහා දීම සඳහා සැරෙන් කතා නොකර බැරිය.

"සැරෙන් කතා නොකර තේරුම් නොගන්නා තරමට ඔවුන් වැරදි කර තිබේ" යන කියමනද මෙහිදී සිහිපත් වේ.

රජය ක්‍රියාත්මක කරන ඕනෑම කටයුත්තකට දේශද්‍රෝහී ලේබලය ලේබලය ඇලවීම පෙර සිට පැවත එන සම්ප්‍රදායකි. එහෙත් පරාජිතයාගේ එම විවේචනය, බලය ලැබූ පසු ඔහුටම එල්ල වේ. "රට විකිණීම"යනුද එවැනිම ප්‍රලාපයකි. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය හෙබවූ 2002-2003 කාලයෙහි වීරවංශ මන්ත්‍රීවරයා රට දෙවනත් කළේ රනිල් සීගිරි ගල විකුණන්න යනවා කියමිනි. කරුණු සොයා බලන විට පැහැදිලි වූයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරනු පිණිස සීගිරි ජල උද්‍යානයේ නර්තන ප්‍රසංග පිළබඳ යෝජනාව මුලින්ම ඉදිරිපත් කර ඇත්තේ හිටපු ඇමතිවරයකු වන ලක්ෂ්මන් ජයකොඩි මහතා විසින් බවය.

විමල්ගේ වාචාලකමට බොහෝ අය රැවටුණහ. රට රනිල්ගෙන් බේරාගැනීම සඳහා අමාත්‍යාංශ පවරාගෙන විධායක බලය ක්‍රියාත්මක කරන්නැයි ජනපතිනි චන්ද්‍රිකාට බලපෑම් කළේද විමල් ප්‍රමුඛ ජවිපෙයි.

එහෙත් වසර දෙකකට සීමා වූ රනිල්ගේ පාලන කාලයෙහි රජයේ රැකියා ඉවබව නැතුව දෙමින් ආර්ථිකය අමාරුවේ දැම්මේ නැත. රට ඉදිරියට ගෙන යෑම සඳහා හිතකර වාතාවරණයක් ඇති කරන ලදි.

එම පාලනය බිඳ දමන ලද්දේ ඊනියා දේශප්‍රේමය ඇවිස්සීමෙනි. ජනපතිනිය 'දිරිය දියණිය' කර රනිල් දේශද්‍රෝහියා කිරීම ජවිපෙ වුවමනාව විය. පරිවාසයෙන් දේශපාලන බලය රස බැලූ විමල්, මහින්ද දිනවීමේ බර කරට ගත්තේ දේශප්‍රේමියා වෙමිනි. රනිල් දේශද්‍රෝහියා කෙරිණ.

මේ දේශප්‍රේමී කල්ලිය රාජ්‍ය දේපළ කොල්ල කෑ හැටි දැන් අනාවරණය වෙමින් පවතී.

රට ගොඩ ගැනීම සඳහා කරන ඕනෑම වැඩක් දේශද්‍රෝහී වැඩක් හැටියට නම් කිරීමේ අරමුණ පැහැදිලිය. දූපත් මානසිකත්වයෙන් පසු වන අය රැවටීම සඳහා මෙය හොඳම උපායයි.

රෑ වැටුණු වළේ දවල් නොවැටීම මේ මොහොතේ රටවැසියාගේ වගකීමයි.

මාතෘකා