මහරගම නගරසභා ජරමරය

මහරගම නගරසභා ජරමරය

මහරගම නගරාධිපතිවරයාගේ අත්තනෝමතික හැසිරීම මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන ප්‍රධාන මාතෘකාවකි. නගරාධිපතිවරයාගේ බලතල පවරා ගන්නැයි ආණ්ඩුකාරයා වෙතද ඉල්ලීම් කිහිපයක් ලැබී ඇත. ආණ්ඩුකාරයාට ඒ සඳහා බලතල ද තිබේ. නගරසභා අර්බුදයට මුල පිරුණේ පොහොට්ටුවෙන් ඉදිරිපත් කෙරුණු නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමෙනි.

ඉන්පසුව ස්වාධීන කණ්ඩායමක් බයිසිකලය ලකුණෙන් ඉදිරිපත් විය. එම කණ්ඩායමට බලය ලැබුණේය. මොවුන්ගේ සුදුසුකම් දැඩි විවේචනයට ලක් විය. නව නගරාධිපති වැඩ ආරම්භ කළේම තමන්ට සර් කියන මෙන් නියෝගයක් පනවමිනි.

එයින් ඔහුගේ තරම රටටම පෙනිණ. මෑතකදී ඔහු නගර සභා සේවකයන් සිව් දෙනකුට පහරදී තිබීම නිසා ඔවුන්ට රෝහල්ගත වීමටද සිදු විය. මේ වන විට නගර සභා සේවකයන් අතර ද නොසන්සුකාරී තත්ත්වයක් උද්ගතව පවතී. එම ආයතනයෙහි දෛනික වැඩ කටයුතු හරියාකාරව ඉටු නොවේ. පරිපාලනය අවුල් ජාලාවකි. කුණු එකතු කිරීම අඩාළ වී ඇත. මෙය වහා පිළියම් යෙදිය යුතු ගැටලුවකි.

අධික ජනගහනයක් සිටින ප්‍රදේශයක් බැවින් පොදු සේවා අඩාළ වීම මහජන නොසන්සුතාවන් ඇති වීම කෙරෙහිද බලපානු ඇත. මහරගම නගරසභාව පිළිබඳ චෝදනා එල්ලවන්නට වූයේ නව නගරාධිපති පත්වන්නට පෙර සිටමය. අතිවිශාල දූෂණ හා වංචා පිළිබඳ චෝදනා ජවිපෙ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළද ඒවා තර්කානුකුල අවසානයක් කරා නොගියේය.

එහෙත් එය දූෂණ ආකරයක් බවට මහජන මතයක් නිර්මාණය විය. එසේ තිබියදීද නගර සභාවකට නොගැලපෙන පිරිසක් ඡන්දයෙන් පත් කිරීමේ වරදින් ඡන්දදාකයා නිදහස් නොවේ.

පළාත් පාලන ආයතන සඳහා තරුණ නියෝජනය වැඩි කිරීමෙන් අපේක්ෂා කළේ නිර්මාණශීලීව නව දැක්මකින් යුතුව කටයුතු කරන පිරිසකට බලය දීමය. එයින් අනාගතයෙහි ජාතික දේශපාලනය සඳහා පෙරහුරුවක් ලබා දීමය. එහෙත් සිදු වූයේ අපේක්ෂා නොකළ දෙයකි. ඒ පිළිබඳ හොඳම අත්දැකීම් ලැබුණේ රාජපක්ෂ පාලන සමයේය.

හෝටලයකට කඩා පැන විජාතික කාන්තාවකට බලහත්කාරකම් කර ඇගේ සැමියාට වෙඩි තබා මැරුවේ ප්‍රාදේශීය සභාපතිවරයකු විසිනි. ඔහු රජ පවුලේ දරුවන්ගේ හිතවතෙකි. නූරි වතුයායේ කළමනාකාර නිහාල් පෙරේරාට දස වද දී මරාදැමුවේ ප්‍රාදේශීය සභාපතිවරයකු විසිනි.

පළාත් පාලන මුල් පුටුවලට පත්වූවන් ප්‍රාදේශීය රජවරුන් මෙන් හැසිරුණේ රජපවුලේ අනුහසිනි. වංචාව,දූෂණය,මැරකම සහ නැහැදිච්චකම අතින් බොහෝ පළාත් පාලන ආයතන එකල මුල් තැනට පැමිණියේය.

වත්මන් පාලකයන් එබඳු චණ්ඩිකම්වලට අනුබල දෙනු නොපෙනේ. එහෙත් පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පළාත් පාලන ආයතන බහුතරයක බලය පොහොට්ටුවට හිමි විය. මහරගම දී සිදු වූයේ පොහාට්ටුවාදීන් පිරිසකට අනියම් අයුරින් බලය ලැබීමය. රජ පවුලේ දාසයන්ගේ මානසිකත්වයෙන් මිදීමට ඔවුන් තවම සමත් වී නැත.

රජාගේ චණ්ඩිකම් ප්‍රාදේශීය රජවරුන් අත්හදා බලන්නේ එනිසා විය හැකිය. එහෙයින් මහරගම නගරාධිපතිගේ හැසිරීමට එරෙහිව විනයානුකුල හා නීතිමය පියවර ගැනීම බලධාරීන්ගේ වගකීම විය යුතුය.

මාතෘකා