පාසල ප්‍රචණ්ඩත්වයට බිලි වීම

පාසල ප්‍රචණ්ඩත්වයට බිලි වීම

පාසැල් දරුවන්ට ගුරුවරුන් විසින් කරනු ලබන හිංසනය මෙන්ම පාසල් දරුවන් අතර සිදු වන හිංසනයද වැඩි වෙමින් පවතින බව යුනිසෙෆ් ආයතනය මෑතකදී නිකුත් කළ වාර්තාවකින් අනාවරණය වේ.

ලංකාවට අදාළව එහි ඇතුළත් වන්නේ ජාතික ළමා රක්ෂණ අධිකාරිය සමීක්ෂණයකින් අනාවරණය කරගත් කරුණුය. එම තොරතුරුවලට අනුව පසුගිය පාසල් වාරයේදී ලංකාවේ පාසල් දරුවන්ගෙන් 80.4 ක් ශාරීරික දඬුවම්වලට ලක්ව තිබේ. එමෙන්ම පාසල් දරුවන් අතර ප්‍රචණ්ඩකාරී ලෙස ආවේග මුදා හැරිමේ ප්‍රතිශතයද වැඩි වී ඇත. මෙහි ප්‍රතිපල ලෙස ශාරීරික හානි මෙන්ම මානසික කඩාවැටීම් ද ඇති වේ.

ප්‍රචණ්ඩත්වයට සහ හිංසනයට මුහුණ දෙන සිසුන් වැඩිහිටියන් වූ පසුව ඔවුන් කෙරෙන් ප්‍රචණ්ඩකාරී හැසිරීම් දිස් වීම අරුමයක් නොවේ.

"උඳු වපුරා මුං බලාපොරොත්තු විය නොහේ" යන ජන කියමන මෙහිදී සිහිපත් වේ.

අධ්‍යාපනයෙහි අරමුණ වන්නේ විවිධත්වය ඉවසන, සංස්කෘතික සම්පත් පොදුවේ බෙදා හදා ගැනීමේ සූදානම ඇති මානව දයාවෙන් යුතු සූක්ෂ්මාත්මතාවක් සහිත මිනිසෙකි. එහෙත් වත්මන් තතු අනුව පෙනෙන්නේ විවිධත්වය නොපිළිගන්නා,මුදු මොලොක් බවක් නැති, ප්‍රචණ්ඩත්වයට ළැදි ආත්මාර්ථකාමී මිනිසකු නූතන අධ්‍යාපනයෙන් නිර්මාණය වන බවය.

මේ වනාහී භයානක තත්ත්වයකි. පාසල් විනය භාර ගුරුවරයා හැටියට බොහෝ විට පත් කරන්නේ මුරණ්ඩු දරුවන් අතින් පයින් හෝ පොලු මුගුරුවලින් මෙල්ල කළ හැකි රෞද්‍ර පෙනුමැති ගුරුවරයකු හෝ ගුරුවරියකි. ප්‍රසිද්ධියේ දරුවන්ට නින්දා කොට පහරදීම නිසා පාසල් හැරගිය සිසුන් සංඛ්‍යාවද විශාලය. මෙබඳු සිසුන්ගේ වෛරය ගුරු සංහතියම කෙරෙහි එල්ල වේ.

විනය බාර ගුරුවරයකු ලෙස දිගු කලක් සේවය කොට විශ්‍රාම ලැබූ ගුරුවරයකු වන කරුණාතිලක හඳුන්පතිරණ ලේඛකයා ලියූ ,"සත්‍යය සුන්දරද?" ඇතුළු ඔහුගේ කෘති කිහිපයකම හිංසනයට ගොදුරු වූ දරුවන් රැසකගේ අනුවේදනීය කතා ඇතුළත්ය. විනය බාර ගුරුවරයාගේ භූමිකාව පොලිස් නිලධාරියාගේ භූමිකාවෙන් වෙනස්ය. පොලිස් නිලධාරියාද තම රාජකාරියෙහි යෙදෙන්නේ නීති නියාමයන්ට යටත්වය. එහෙත් විනය බාර ගුරුවරුන්ගෙන් වැඩි පිරිසක් නීතිය පමණක් නොව සදාචාරයේ සහ ශිෂ්ටත්වයේ සීමාද පුපුරුවා හරිති.

විභාග කේද්‍රීය අධ්‍යාපනය දරුවන්ගේ මනසට මහත් වධයකි. ටියුෂන් නමැති අධ්‍යාපනයේ විකෘතිය වැඩිහිටියන්ගේ මනස් කුරුවල් කර දරුවන්ගේ නිදහස කුඩුපට්ටම් කර ඇත. දරුවන් කෙරෙන් ප්‍රචණ්ඩත්වය දිස් වීමේ මනෝ මූල හා සමාජමය පදනම එයයි.

දරුවන්ට ශාරීරික දඬුවම් පමුණුවන ගුරුවරුන්ට විදුහලෙන්ම ආරක්ෂාව ලැබේ. ගහලා හැදීම බොහෝ ගුරුවරු අනුමත කරති. ‘‘ගහලා හරි හදලා දෙන්නැ’’යි දෙමාපියෝද කියති. ඕනෑම කෙංගෙඩියකට උපුටාගත හැකි ජනවේදයක්ද පවතී. මේ අනුව ‘‘ගහල හදන්නැති ළමයා හැඳිගාලා හදන්නැති හොද්ද වගේ යැයි’’ උගත් නූගත් බොහෝ වැඩිහිටියෝ ජප කරති.

ගුරුවරයා පරපීඩකයකු වීම නිදහස් අධ්‍යාපනය විකෘති වීමේ ප්‍රතිපලයකි. කලාතුරකින් වැඩිහිටියකු මීට එරෙහි වූ විට සිදු වන්නේ පාසලෙන් ඉවත් වන තුරුම දරුවාගෙන් පළිගැනීමය.

මේ උපද්‍රවයෙන් පාසල සහ දරුවන් බේරා ගත හැක්කේ දැනට පවතින අධ්‍යාපනය බරපතළ ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමෙන් පමණි.

මාතෘකා