ජනබලය හා නරිනාටක

ජනබලය හා නරිනාටක

ආණ්ඩු බලය අල්ලාගෙන මිස ආපසු නොයන්නෙමැයි වහසි බස් දෙඩූ ජන බලය කොළඹ නගරයෙහි කුණු කන්දරාවක් ඉතිරි කර පැය විසි හතරක් ඉක්ම යෑමට මත්තෙන් කොළඹින් නික්මිණ. පිටිසරබද ගම්වලින් කැඳවනු ලැබූ ජනපිරිස් කොටුවට සේන්දු වූ පසු ඔවුන් මෙහෙයවූ නායකයන් ජනපිරිස් අතරින් ඇදී ගියේ සුපිරි වාහනවලිනි. නිශ්චිත වැඩපිළිවෙළක් ඉලක්කයක් නොතිබූ ජනබල මෙහෙයුමෙහි නායකයන් ජනතාව අතහැර සන්ධ්‍යාවේ සුපිරි හෝටල්වලට යන අතරතුර අනුගාමිකයෝ මහපාරේ ලැග සිටියහ.

මුලින් කී පරිදි ආණ්ඩු බලය අල්ලන ජන සටනක් නම් නායකයන් සිටිය යුත්තේ ජනතාව සමගය. එහෙත් එවැනි අරමුණක් මෙන්ම ඒ සඳහා සාධාරණ හේතුද නොවීය. ජනබලයේ සටන්පාඨවලින් සෑහෙන ප්‍රමාණයක් බූමරංගයක් මෙන් ආපසු කැරකී එන්නේද එම නායකයන්ටමය.

හොඳම උදාහරණය මාධ්‍ය මර්දනය නවත්වනු යන්නය. මහජන විරෝධතා කුළුගන්වා ආණ්ඩුවක් ගෙදර යවන මට්ටමේ උද්ඝෝෂණ පිළිබඳ ලංකාවේ ඇති හොඳම ආදර්ශය 1953 හර්තාලයයි. එම අඛණ්ඩ උද්ඝෝෂණය එවක පැවති ආණ්ඩුව නැවකට පැටවීමෙහි සමත් විය. බලය ලබා ගන්න තරම් අර්බුදය මෝරා නැතැයි වම්මු ප්‍රතික්ෂේප කළද ආණ්ඩු බලය ලබා ගැනීමේ ගැම්මක් ඒ මොහොතේ ඇති වී තිබිණ.

මෑතකදී අරාබි වසන්තය නමින් හැඳින්වෙන දේශපාලන පෙරළිවලදී මහජනයා වීදි බැස අඛණ්ඩව අරමුණ ජයග්‍රහණය කරන තෙක් රැඳී සිටීමේ අත්දැකීම්ද ඇත.

මෙවර අගනුවරට පැමිණෙන ජනබලය පිළිබඳ පූර්ව ප්‍රචාරණ තැතිගන්වනසුලු විය. ආණ්ඩු වෙනසක් ඇති කරන මට්ටමේ ජන විරෝධයක් ඇති වන බවට ප්‍රචාරණය කෙරිණ. අන්තිමේදී සිදු වූයේ කුමක්ද?

නැටූ තොවිලෙකුත් නැත. බෙරේ පළුවකුත් නැත.

ජනබලය මෙහෙයවූවන්ට තිබුණේ පටු අරමුණකි. එනම් තමන්ට පාලන බලය හිමිව තිබූ සමයේ කළ අපරාධවලට එරෙහිව සිදුකෙරෙමින් පවතින නීතිමය කටයුතු අඩාළ කිරීම සඳහා නීති ක්‍රියාකාරිකයන්ද ආණ්ඩුවද බයට පත් කිරීමය. දෙවැනි අරමුණ බත් පැකට් හෝ මුදල් දීමෙන් විශාල ජනකායක් ගෙන්වා මහජනයාගේ බහුතර කැමැත්ත තමන්ට ඇති බව පෙන්වීමය. සිතූ තරම් සෙනගක් නොපැමිණි හෙයින් එයද ඉටු නොවීය.

තවත් අතකින් බැලූ විට ජනබලයට සහභාගි වූවන්ගේ හැසිරීම් අනුව පෙනී ගියේ ඔවුන්ට මෙය කා බී නටා ප්‍රීති වීමේ අවස්ථාවක් වූ බවය. පොන්ටමාරා නවකතාවෙහි ගම්මුන් මෙන්ම තමන් යන්නේ කොහිද,කුමක් සඳහාද යන්න ඔවුහු නොදැන සිටියහ. රටවැසියන් හැටියට මෙය ඔවුන්ට කළ බලවත් නින්දාවකි; අපහාසයකි.

තන්හි තන්හි වෙරි වී වැටී සිටි පිරිස් රෝහල්ගත කිරීම සඳහා සුවසැරිය ගිලන් රථ වුවමනාවීම ඉතිහාසයේ සරදමකි.ජනබලයට සහාය දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සුවසැරිය ගෝනිබිල්ලකු ලෙස දැක්වූ බව සිහිපත් වේ.

අවසානයේ දී සුවසැරිය ද විපතට පත්වූවන්ගේ පිහිටට වුවමනා විය.

ජනතාව දේශපාලන වශයෙන් දැනුවත් කිරීම විපක්ෂයේ එක් ප්‍රධාන වගකීමකි. මෙහිදී සිදුව ඇත්තේ ජනතාව ගොනාට ඇන්දවීමකි. ජනතාව තම වහලුන් සේ සලකන වැඩවසම් දේශපාලකයන්ගේ පහත් හැසිරීම ප්‍රදර්ශනය කිරීමකි.

මේ තරම් නෙයියාඩගම් නටන්නට තමන්ට ලැබී ඇති නිදහස කෙසේ පහළවූවක්ද යන්න ඊට පැමිණි ජනතාවද සිතා බැලීම ඔවුන්ගේ මානසික සෞඛ්‍යයටද වැදගත් වන බව කිව යුතුය.

රතුපස්වල, කටුනායක, හලාවත සිදුවීම් මතක ඇති උදවිය එදා සහ මෙදා වෙනස ගැන ඔවුන්ට සිහිපත් කරදීම වැදගත්ය.

පාදඩ දේශපාලනය හැම විටම දේශප්‍රේමයේ ධජය අතට ගනී. එය පඩංගුවක් කරගෙන එයට මුවාවෙයි. මේ රඟ දැක්වුණේද එම පන්නයේ නරනාටකයකි.

මාතෘකා