හිස්වන පාසැල්

හිස්වන පාසැල්

ජනප්‍රිය පාසැල්වලට දරුවන් ඇතුළත් කිරීම උදෙසා පවත්නා තරඟය තවමත් උග්‍රය. ඒ අනුව ලබන වසරට පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම් පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරු භයානකය. එය නිදහස් අධ්‍යාපනයේ ගමන්මඟ පිළිබඳ අලුතින් සිතීමට පොළඹවයි.

ලැබී ඇති තොරතුරු අනුව එකම ළමයකුගෙන්වත් අයදුම්පත් ලැබී නොමැති පාසල් ගණන 433 කි. ඉල්ලුම්පත් 5 ට අඩුවෙන් ලැබී ඇති පාසල් ගණන 1100 කි.අනෙකුත් සංඛ්‍යා මෙසේය.

ඉල්ලුම්පත් 1 බැගින් ලැබී ඇති පාසල් ගණන_137

ඉල්ලුම්පත් 2 බැගින් ලැබී ඇති පාසල් ගණන 138 කි.

ඉල්ලුම්පත් 3 බැගින් ලැබී ඇති පාසල් ගණන 176කි.

හතර බැගින් 223 කි.

මේ ගණන් හිලව් පිටුපස ඇත්තේ ශෝචනීය කතාවකි. නියත වශයෙන්ම ලබන වසරේද කුඩා පාසල් වැසී යෑමේ ප්‍රවණතාව තව වැඩි දියුණු වනු ඇත. ජනප්‍රිය පාසල් පොරය තව දුරටත් පවතිනු ඇත.

මෙහි ප්‍රතිපලය වනුයේ දිළිඳු බවේ පතුළෙහි සිටින පවුල්වල දරුවන් සෑහෙන පිරිසක් අධ්‍යාපනයට තිත තැබීමය.

මේ අනතුර වලක්වාගත හැක්කේ අධ්‍යාපන පද්ධතිය පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමෙනි.

වත්මන් රජය "ළඟම පාසල හොඳම පාසල" මැයෙන් වැඩසටහනක් ආරම්භ කළේය.එහි අරමුණ වූයේ ගමේ පාසල්වලට සියලු සම්පත් ලබාදී ජනප්‍රිය පාසල් පොරය තුනී කිරිමය. ඒ වැඩසටහන දැන් ක්‍රියාත්මක වෙමින් පවතී.ප්‍රතිපල ක්ෂණිකව නොලැබෙනු ඇත. එහෙත් එය අතිශය ප්‍රශස්ත ව්‍යාපෘතියකි.

පාසල් පද්ධතියෙහි ඇති අර්බුදයට බලපෑ හේතු ගණනාවක් පවතී. ඉන් එකක් වනුයේ කීර්ති නාමයක් ඇති විදුහලකට ළමයා ඇතුළත් කිරීමෙන් වැඩිහිටියන්"ඇරියස් කවර්කර ගැනීම"ය. එවැනි විදුහලක ඉගෙන ගැනීමෙන් අනාගතයෙහි තම දරුවා සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වීමේදීද වාසියක් වෙතැයි ඔවුහු සිතති.

මේ වනාහී රැල්ලට අනුගත වීමකි. අනෙක් අතින් බැලූ විට පාසල් අතර සම්පත් බෙදී යෑමේ විෂමතාවක්ද පවතී. එය හදිසියේ ඇති වු තත්වයක්ද නොවේ.

සම්පත් ඌනතා ගැටලු තිබියදීද කැපවීමෙන් වැඩ කිරීම ඔස්සේ ප්‍රතිපල ඉහළ නැංවීම ඔස්සේ පාසල් දියුණු කරන ගුරුවරුද සිටිති.ඒවායෙහි සිසුගහනයද වැඩි වෙමින් පවතී. එයින් හැඟෙන්නේ වෘත්තිය ව්‍යාපාරයක් බවට පත්කර නොගත් උත්තම ගණයේ ගුරුවරුන්ද සිටින බවය.

දරුවන්ටද දෙමාපියන්ටද රටටද බරක් වී ඇති අධ්‍යාපනය නවීකරණය කිරීම කෙරෙහි අධ්‍යාපන ඇමතිවරයාගේ අවධානය යොමු වී ඇත.එය සතුටට කරුණකි. මෙහිදී ඇතැමුන්ගේ සිත් රිදවන තීන්දුද ගැනීමට සිදුවනු ඇත. පාසල් ගුරුවරුන්ට ටියුෂන් තහනම් කිරීම එක් පියවරකි.අධ්‍යාපන අමාත්‍යවරයාගේ යම් යම් ‘රැඩිකල්‘ තීන්දු අගය කළ මනාය. එහෙත් ඇතැම් නිලධාරීන් තවමත් සිටින්නේ නිද්‍රාශීලී පිළිවෙතක ය.

මාතෘකා