වධකයන්ට ගිය රටක්

වධකයන්ට ගිය රටක්

අනුන්ට වධයක් දී සතුටක් ලැබීම අශිෂ්ට ගතියකි. කුණු වූ සමාජයක මෙබඳු අගතීන් මුල් බැස ගැනීම අරුමයක් නොවේ. සරසවි නවක වධය වනාහී මේ අගතිය පිළිබිඹු කෙරෙන කැටපතක් වැන්න.

මේ ලියන මොහොත වන විට විජේදාස රාජපක්ෂ ඇමතිවරයා පොලිස් කොමිසමට පැමිණිල්ලක් කර ඇත. මීට වසර දෙකට පෙර නවකවධය නිසා ගෙල වැල ලාගෙන මිය ගිය සරසවි සිසුවියගේ මරණයට වගකිවයුත්තන්ට නීතියෙන් දඬුවම් ලබාදීම එහි අරමුණයි. එය ඓතිහාසික පැමිණිල්ලකි. එසේ වන්නේ කැබිනට් ඇමතිවරයකු මැදිහත් වන තුරුම මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම නිසාය.

නවකවධය සරසවි උප සංස්කෘතියේ අංගයක් ලෙස සලකා, සමාජය ඒ සම්බන්ධයෙන් මෘදු ආකල්පයක් දැරූ කාලයක් තිබිණි. එය වධකයන්ට ලයිසන් දීමක් විය. නවකවධය මිනීමරු ක්‍රියාදාමයක් බව තහවුරු වූ සිදුවීම් කිහිපයකින් අනතුරුව ඊට එරෙහිව නීති පැනවීමේ අවශ්‍යතාව පිළිබඳ කතිතාවතක් පැනනැගිණි. 1998 නවකවධ පනත සම්මත කර ගැනෙන්නේ ඒ අනුවය. නවක වධය නාමයෙන් කෙරෙන සෘජු හිංසනයන්ට පමණක් නොව සියුම් ලෙස ක්‍රියාත්මක වන වක්‍ර හිංසනයන්ට පවා එරෙහිව ක්‍රියාත්මක වීමේ ප්‍රතිපාදන එම පනතට ඇතුළත් වේ.

වධ හිංසාවට ලක් නොවී සිටීම මානව අයිතියකි. එය ආරක්ෂා ක‍ෙදීම රජයේ වගකීමකි. ගැටලුව වන්නේ නීති තිබියදීත් ඒවා ක්‍රියාත්මක නොවීමයි.

සරසවි සිසුවියගේ මව මේ සම්බන්ධයෙන් කළ පැමිණිලි අනුව නීතිය ක්‍රියාත්මක වීම අඩාළ වී ඇත්තේ විවිධ හේතු නිසාය.

පේරාදෙණිය සරසවියෙහි එවක සිටි උපකුලපතිවරයා සරසවියට කැළලක් වේය යන බියෙන් අදාළ තොරතුරු සපයා නැතැයි කියවේ. එවැන්නන් අනියමෙන් කර ඇත්තේ ඊනියා ශිෂ්‍ය සංවිධානවල යල්පැන ගිය මතයට අනුගත වීමය.

"උඩ බලාගෙන කෙළ ගහගන්නෙ මොකටද? "

මේ ජන කියමනද වධකයෝ පාවිච්චි කරති. එහි අරුත මෙසේය.

"අපි නවකයන්ට වධ දෙනවා. ඒකට විරුද්ධ වන ඇතුළේ එවුන් කරන්නෙ උඩ බලාගෙන කෙළ ගහගන්න එක. වැටෙන්නෙ මූණට"

මේ වනාහී දීන චින්තනයකි. සරසවි සිසුවාගෙන් පටන් ගෙන උප කුලපති දක්වාම එම චින්තනය විහිදී ඇති බව පේරාදෙණිය සිදුවීමෙන් පෙනේ.

අනුන්ට වධයක්දී සතුටක් ලැබීමේ ලක්ෂණය මනෝ විද්‍යාවේ හැඳින්වෙන්නේ සාදිස්මය (sadism) ලෙසය.

තවත් බොහෝ සාධක බලපායි. හීනමානය, ආක්‍රමණශීලිත්වය, අනුකරණය, වල්බූරු නිදහස යනාදී වශයෙනි. මේ එකක් හෝ අනෙක් කරුණුද තව බොහෝ කරුණුද පවතී. ඊනියා ශිෂ්‍ය සංගම් නවකවධය පවත්වා ගෙන යන්නේ තම දේශපාලන කණ්ඩායම් සඳහා මොළ සුද්දයට (brain wash) ලක් කළ සිසුන් බා ගැනීමේ අරමුණ ඇතිවය.

මේ අශිෂ්ටයන්ගේ ක්‍රියාදාමය නිසා වසරක් පාසා විශාල පිරිසක් සරසවි හැර යති. සරසවියට යෑමේ වරම් ලැබූ දරුවන් සරසවි නොයවන තැනට ඇතැම් දෙමව්පියෝ හිත හදා ගනිති.

නවකවධය නිසා දිවිනසා ගැනීම් වාර්තා වන්නේ ඒ අතරතුරය. මානසික හා කායික ආබාධවලට ලක්වන්නන් ගැන කිසිවෙක් කතා නොකරති.

මේ සියලු කරුණු අනුව නවක වධය මැඩීම සඳහා නීතිය ක්‍රියාත්මක කරවීම එක් වැදගත් පියවරක් බව කිව යුතුය. මිනිස්කම මුල් කරගත් පුරවැසි සමාජයක් නිර්මාණය කරගැනීම බරපතළම අභියෝගයයි.

මාතෘකා