නියඟය සහ දේශගුණ සිතියම

නියඟය සහ දේශගුණ සිතියම

දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකට බලපෑ දැඩි නියඟය නිසා ලක්ෂ ගණනක ජනතාවක් පීඩාවට පත්ව ඇති බව රැස මුල් පුවත ඊයේ (3 දා) අනාවරණය කළේය.

දැනගන්නට ඇති පරිදි උතුර, උතුරුමැද, වයඹ පළාත්වලට නියඟයෙන් විශාලම හානිය සිදුව ඇත. උතුරු පළාත එයිනුත් ප්‍රමුඛ වේ. වී ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය බවට පත්වූ ඇතැම් ප්‍රදේශවල කන්න හයකින් ගොවිතැන් කර නැත. මෙය ඉතා භයානක තත්වයකි.

නියඟය නිසා ගොවිතැන් පාළුවීමෙන් ආහාර හිඟය හා පානීය ජල හිඟය නිසා ගැටලු රැසක් නිමාණය වේ. මේ තත්ත්වය මිනිසා ගහ කොළ සතා සීපාවා ඇතුළු පරිසර පද්ධතියටම බලපාන බව අමුතුවෙන් කිව යුතු නොවේ. පිරිසිදු පානීය ජලය හිඟකම නිසා විවිධ රෝග තත්වයන් ඇති වේ. නියඟය බලපැවැත්වීමට පෙර ඇතැම් පළාත්වල ගංවතුර හා නාය යෑම් නිසා ජීවිත හානි මෙන්ම දේපළ හානිද සිදු විය. ඇතැම් අවස්ථාවල රටේ එක් කොටසක දැඩි නියං තත්වයක් පවතිද්දී තවත් ප්‍රදේශයක ගංවතුර උවදුර ඇතිවෙයි.

මෑත අවධියෙහි සිට ගංවතුර හා නියඟය නිසා ඇතිවන ආපදා කළමනාකරණය සඳහා රජයට විශාල පිරිවැයක් දැරීමට සිදු වී තිබේ. යුද්ධයෙන් සිදුවූ හානි පූරණ වියදම්වලට අමතරව ආපදා කළමනාකරණය සඳහා විශාල බරපැනක් දරන්නට සිදුවීම ආර්ථිකයට මරු පහරකි. වර්ගවාදීන් මුස්ලිම් ජනතාවගේ දේපළ විනාශ කරන විට එම ආපදාවලට වන්දි ගෙවිය යුතුව ඇත්තේද රජයයි.

ශ්‍රී ලංකාව අනෙක් සෑම විෂයයකදී මෙන්ම ආපදා කළමනාකරණ විෂයයෙහිද පසුවන්නේ සතුටු විය නොහැකි තැනකය. ගංවතුර හා නියඟය රජයකට පාලනය කළ නොහැකි බව ඇත්තකි. එහෙත් එහිදී වන හානි අවම කරගැනීමේ සම්ප්‍රදායන් හා පිළිවෙත් අප අතරින් ගිලිහී තිබේ. උදාහරණයක් වශයෙන් ගත් කල ඉතා කෙටි නියඟයකදී වුවද මහවැව්, සුළුවැව් හා වැව් කොටු සිඳී යයි. එම වැව්වල පෝෂක ප්‍රදේශයෙහි වනගහනය විනාශ කර ඇත. ඉඩම් "දේශපාලන ආධාරකරුවන්ට" සින්න කර තිබේ. මේ නිසා නියං සමයෙහි වැව් ආරක්ෂා කරන කුළුවැව් පද්ධතිය අහිමි වී ඇත. වැව් එල්ලංගා පද්ධතියට හානි කර ඇත.

වැව් ගොඩ වීම නිසා කෙටි නියඟයකදීද වැව් සිඳේ. එයින් ජනදිවිය ඉරිතළා යයි. අතීතයෙහි දැඩි නියඟයක් පැමිණි විට මෙතරම් දරුණු අර්බුදයක් නිර්මාණය නොවූයේ වැව්වල ජලය ස්වල්පයක් හෝ රැඳුණු හෙයිනි. වනගහනයට හානි නොකළ හෙයිනි.

පවතින තත්ත්වය අනුව ජලාශ සිඳී යෑමෙන් විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බවට රජය දැනටම අනතුරු අඟවා තිබේ. එමෙන්ම පානීය ජලය ලබා දීම සඳහා බවුසර් ලබා දීම, වගා හානිවලට වන්දි ලබා දීම යනාදී පියවර කිහිපයක් අනුගමනය කරමින් පවතී. එය අගය කළ යුතුය. මේවා කෙටිකාලීන පිළියම්ය. දිගු කාලීන පිළියම්වලට බර තැබිය යුතුය. ඊට හේතුව අනාගතයෙහිදී මීට වඩා බරපතළ තත්වයක් ඇති විය හැකි බවට දේශගුණ විද්‍යාඥයන් දැනටම අනතුරු අඟවා තිබීමය.

එල්නිනෝ සහ ලා නිනෝ තත්වය දිවයිනටද බලපායි. කෙටි කලකදී අධික වැසිපතනයෙන් දේපළ හා ජීවිත විනාශය එහි එක් ප්‍ර‍තිඵලයකි. අනෙක් ඵලය දැඩි උණුසුම හා කාන්තාරකරණයයි. ශ්‍රී ලංකාවේ දේශගුණ සිතියම වෙනස්වෙමින් පවතින බව මහාචාර්ය සී. එම්. එම්. මද්දුම බණ්ඩාරගේ අධ්‍යයන වාර්තා ද තහවුරු කරයි. ඒ අනුව දිවයිනේ ඇතැම් පෙදෙස් අනාගතයෙහිදී කාන්තාර බවට පත් විය හැකිය. දිවයින පුරා වේගයෙන් මොනරා ව්‍යාප්ත වීම දේශගුණ විපර්යාසයේ එක් ප්‍රතිඵලයකි.

මේ සියලු කරුණු සලකා බලා සාම්ප්‍රදායික දැනුම සහ දේශගුණ විද්‍යාඥයන්ගේ දැනුම ද යොදාගනිමින් තිරසාර වැඩසටහනක් සකස් කර ගත යුතුය. එය පාලකයන්ගේ වගකීමය.

මාතෘකා