ජල තාක්ෂණවේදයේ මුදුන් මල්කඩ

ජල තාක්ෂණවේදයේ මුදුන් මල්කඩ

දකුණු ආසියාවේ විශාලතම ජල තාක්ෂණ පර්යේෂණාගාරය ඉදිකිරීමේ කටයුතු සැප්. 28 දින පේරාදෙණියේදී ආරම්භ වෙයි. මෙහි ඉලක්කය වකුගඩු රෝගය මැඬ පැවැත්වීමය. චීන ශ්‍රී ලංකා පර්යේෂණ සහනාධාර යටතේ මෙය ක්‍රියාත්මක වෙයි. පසුගිය 26 වැනිදා රවුෆ් හකීම් ඇමතිවරයා සහ චීන ජාතික මහාචාර්ය වේයි අතර මේ පිළිබඳ සාකච්ඡාවක් කොල්ලුපිටියේදී පැවැත්විණ.

මහාචාර්යවරයා චීන විද්‍යා සංගමයේ නියෝජිතයෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යංශය, චීන විද්‍යා පර්යේෂණ ආයතනය, ජාතික ජලසම්පාදන මණ්ඩලය, ඉදිකිරීම් භාර සී, ටී, සී, ජී ආයතන මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හවුල් වෙයි. මේ වනාහී ඓතිහාසික වැදගත්කමින් යුතු සිදුවීමකි.

ලොව ජල තාක්ෂණ ඉතිහාසයේ ශ්‍රී ලංකාව හා චීනය සමතැන් ගන්නා අවස්ථාවක් යුනෙස්කෝ සංවිධානය විසින් මීට කලකට පෙර නම් කර තිබේ.

ඒ මෙසේය.

"ජලතාක්ෂණවේදය අතින් ලොව එකකට එකක් දෙවැනි නොවන නිර්මාණ දෙකක් පවතී. ඉන් පළමුවැන්න චීනයේ මහා ඇළයි. දෙවැන්න ශ්‍රී ලංකාවේ ජයගඟයි"

ජලතාක්ෂණාගාරය ඉදිකිරීමේදී එය සලකා බලා ඇතිදැයි අප නොදන්නා නමුත් එය සිහිපත් කිරීම වටී.

යුනෙස්කෝ සංවිධානය එසේ නම් කළේ නිකම්ම නොවේ.

පැරණි කෘෂිකාර්මික සමාජයේ චීන්නු මෙන්ම ලාංකිකයෝද ජලතාක්ෂණය ඉහළින්ම දියුණු කළහ. ශ්‍රී ලංකාවේ ජයගඟ ඒ අතින් අසිරිමත් නිර්මාණයකි. මිරිස්ගෝණියා ඔය හරස්කර තැනූ කලාවැවේ දියවර අනුරාධපුර දක්වා ගෙන ගිය යෝධ ඇළ හෙවත් ජය ගඟේ ඇත්තේ පුදුම එළවනසුලු මන්දගාමී බැස්මකි. මේ මහා ඇළ ගලා ගියේ එප්පාවල පොස්පේට් නිධිය මතිනි. ජයගඟෙන් දියවර සැපයුණු වැව් ගණන විශාලය.

පාරම්පරික ජලතාක්ෂණ දැනුම එකරැස් කළ ආයතනය වාරිමාර්ග දෙපාර්තමේන්තුවයි. එහි මූලස්ථාන ගොඩනැගිල්ලේ ජලතාක්ෂණවේදය සම්බන්ධයෙන් වෙනම අංශයක් පවත්වාගෙන යන ලදි. එය එම විෂය සම්බන්ධ සරසවියක් බඳුය. මීට කලකට පෙර සිට එය අක්‍රීය වන්නට ඉඩ හැර තිබේ.

අලුතින් ජලතාක්ෂණාගාරයක් ඉදිකිරීමට බලපා ඇත්තේ වකුගඩු රෝගයයි. එහිදී චීනය සහ ලංකාව සම්බන්ධ වන්නේ පවතින තත්ත්වය අනුව ඉදිකිරීම් විෂය සම්බන්ධයෙන් ඇති සහයෝගිතාව නිසා විය හැකිය. එහෙත් මෙහිදී රටවල් දෙක සම්බන්ධ වන ඓතිහාසික සාධක අනුව බැලූ විට මේ පර්යේෂණාගාරය වකුගඩු රෝගය වැළැක්වීමේ අරමුණෙන් ඔබ්බට යා යුතුය; යා හැකිය.

පාරම්පරික ජලතාක්ෂණ උරුමය අතහැරීම නිසා ඇතිවූ ගැටළුවක් හැටියට වකුගඩු රෝගය සැලකුවද එය ඊට වඩා සංකීර්ණය. එය චීනයට වඩා ලංකාවට අදාළ වෙයි.

එනිසා ජලතාක්ෂණවේදය නොසලකා හැරීම නිසා ඇතිවී තිබෙන සංකීර්ණ සමාජාර්ථික ගැටලු පිළිබඳ ගැඹුරු කැණීමක් කළ යුතුය.

මන්දයත් ශ්‍රී ලාංකේය සමාජය උඩුයටිකරවන තරමේ පරිවර්තනයක් තවම සිදුවී නැති හෙයිනි. මේ රටේ ජල තාක්ෂණ උරුමය සහ කෘෂිකාර්මික පදනම පිළිබඳ හරි අවබෝධයක් නැතිව දිගුකලක් තිස්සේ කරන ලද සැලසුම් මල්පල නොදැරීම අවධානයට ලක් කළ යුතුය.

වකුගඩු රෝගය ජනසමූහයක් හැටියට මුහුණ දෙන ගැටලුවක එක් මුහුණුවරක් පමණි. එනිසා මෙය නිමිති කරගනිමින් පිහිටුවනු ලබන ජලතාක්ෂණාගාරය පුළුල් අවශ්‍යතා ඉටුකරන තැනක් බවට පත් කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු විශිෂ්ට උරුමයෙන්ද එහි භෞතික හා මානව සම්පත්වලින්ද ප්‍රයෝජනය ගත යුතුය. එය ශ්‍රී ලංකාවෙන් ලෝක මට්ටමට ගෙනගිය හැකි විශිෂ්ට ජලතාක්ෂණවේදයකි.

මාතෘකා