පිරිපුන් පාසලක ප්‍රීතිමත් ළමයි

පිරිපුන් පාසලක ප්‍රීතිමත් ළමයි

ළමයෙක් සමඟ පැළයක් වැඩීමේ හරිත සංකල්පය අනුව සිසුන්ගේ අධ්‍යාපනයෙහි සාධන මට්ටම 20% කින් වැඩිවීම තමාගේ අත්දැකීමක් යැයි ආනමඩුව කන්නන්ගර විදුහලේ විදුහල්පතිවරයා රැස පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී පැවසීය. මෙහි විශේෂත්වය වන්නේ පුද්ගලික පන්ති නොපැවැත්වීමේ විදුහල්පති ආදර්ශය අනුව යමින් ගුරුවරුන්ද සවස්වරුවෙහි මුදල් අය නොකර දරුවන්ට ඉගැන්වීමයි.

හරිත සංකල්පය අත්හදා බැලීම ආරම්භ වී ඇත්තේ මීට දශක දෙකකට පමණ පෙරය. එහිදී සිදුවූයේ දරුවකු පාසලට ඇතුළත් කර ගැනීමේදී පැළයක්ද රැගෙන ඒමය. දරුවා පාසලෙන් ඉවත්වන තුරු එම පැළය විදුහල් බිමෙහි වැඩෙන අයුරු දකී. දරුවාගේ සාත්තුව ලබයි.

මේ අනුව විදුහල් බිමෙහි වසරින් වසර ස්ථර කිහිපයකින් ගස් වැවෙයි. විදුහල අවට තුරුවියන නෙතට රසඳුනකි. ගතට සිසිලකි. කන්නන්ගර විදුහලේ විදුහල්පතිවරයා තමා සේවය කළ විදුහල් හතරක එම අත්හදා බැලීම සිදුකර සාර්ථක ප්‍රතිඵල ලබා ඇත. ඇතැම් දරුවන් පාසලෙන් ඉවත් වූ පසුද තමන් රැක බලාගත් ගස දැක බලා ගැනීමට පැමිණීමේ ප්‍රවණතාවක් ඇතිවීමෙන් පෙනෙන්නේ මේ ක්‍රියාවලිය දරුවන්ගේ ශික්ෂණය සහ සාරධර්ම කෙරෙහිද බලපා ඇති බවයි. මේ වනාහි අධ්‍යාපන ක්‍රමය අලුතින් සැලසුම් කිරීමේදී සලකා බැලිය යුතු ඉතා වැදගත් සුසමාදර්ශයකි.

කළුතර නාගොඩ විදුහලේ ගුරුවරයෙක් සිසුන් ලවා දෛනික සටහන් තැබීමේ ක්‍රමයක් අනුගමනය කළේය. ටික කලක් යන විට එම දරුවන් සතු අගනා සටහන් සමුදායක් අභ්‍යාස පොත්වල සංරක්ෂණය වෙයි. දරුවන්ගේ චින්තනය, විචාරය සහ වින්දනය පුළුල් කිරීම කෙරෙහි මෙය බලපායි. දිවයිනේ විසිරී පවතින ඇතැම් විදුහල්වල වැඩි සද්ද බද්දයකින් තොරව මෙවැනි අගනා වැඩසටහන් ක්‍රියාත්මක වේ. අඩු පහසුකම් ඇතැයි බැලූ බැල්මට පෙනුණද තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් මනා ඉගෙනුම් පරිසරයක් ගොඩ නැගීම මෙහි විශේෂත්වයකි.

එමෙන්ම ටියුෂන් පන්තිවලට යෑමේ හැකියාව නොමැති දරුවන්ට ඉගෙනුම් අඩුපාඩු නොතබා කැපවීමෙන් වැඩකර ප්‍රතිඵල මට්ටම ඉහළින් තබාගන්නා ගම්බද පාසල් විශාල ප්‍රමාණයක් පවතී. මේ ඇතැම් පාසල් වැසී යෑමේ අවදානමට මුහුණ දී තිබීමද කණගාටු විය යුත්තකි.

ආණ්ඩුවෙන් හා වෙනත් ආයතනවලින් සියල්ල ලැබෙන තුරු බලා නොසිට ගම්බදව තිබෙන සම්පත්වලින් විදුහල් ඉඩම මනාව පවත්වා ගෙන යන අවස්ථා පවතී. ප්‍රකට අධ්‍යාපනඥවරියක වන මේරි රොබින්සන් ලංකාවේ ග්‍රාමීය පාසල් පිළිබඳ කලකට පෙර සිදු කළ පයේෂණාත්මක අධ්‍යයනයෙන්ද හෙළිවූ පරිදි නිදහස් අධ්‍යාපනයේ නියම හරය වටහාගත් ගුරුවරු තවමත් ප්‍රතිලාභ අපේක්ෂාවෙන් තොරව මහඟු මෙහෙවරක යෙදෙති.

වත්මනෙහි විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය, ජනප්‍රිය පැසල් පොරය, ටියුෂන් ආධිපත්‍ය යනාදී විවිධ හේතු මත සිසු පරපුර මත ඇත්තේ අතිමහත් පීඩනයකි. ඔවුන් කායික හා මානසික වශයෙන් රෝගී බවට පත් කරන ක්‍රමය ඉක්මනින් වෙනස් කළ යුතුය. ඒ සඳහා නව අධ්‍යාපනයක් සැලසුම් කළ යුතුය. එහිදී විෂයමාලා නවීකරණය එක් පියවරකි.

අනෙක් පියවර පිරිපුන් මිනිසෙකු ගොඩ නැගෙන ආකල්ප හා කුසලතා වර්ධනයයි.

ඒ සඳහා දිගු කාලීන සැලැස්මක් අවශ්‍ය වේ. ප්‍රායෝගික අවබෝධයක් නැති පොතේ පණ්ඩිතයන්ට වඩා එහි නියෝජනය ලැබිය යුතු වන්නේ කන්නන්ගරයේ විදුහල්පති වැනි විශිෂ්ට ගුරුවරුන්ය.

මාතෘකා