ඡන්දයේ බලය

ඡන්දයේ බලය

දේශපාලනික සවිඥානය මානව සමාජයේ ප්‍රගමනයට අත්‍යවශ්‍යය. අන්ධානුකරණයෙන් මිදී වඩා ප්‍රශස්ත ලෙස ස්වකීය දේශපාලන තීන්දු තීරණ ගැනීමට සමත් මානව සමාජයකින් පිරි රාජ්‍යය වාසනාවන්තය. හැඟීම්වලට වහල් නොවී කටයුතු කිරීම පුරවැසියාගේ වගකීමකි.

ඉතා කඩිනමින් මැතිවරණය පවත්වන බව ජනාධිපතිවරයා පවසයි. අනෙක් අතට දේශපාලනික වටපිටාව පෙන්නුම් කරන්නේත් කඩිනම් මැතිවරණයක සේයාවය.

ප්‍රජාතන්ත්‍රවාදයේ වඩාත් ගුණාත්මක ඵල නෙළාගත හැක්කේ නිසි කලට මැතිවරණ පැවැත්වීමෙනි. මක්නිසාදයත් මැතිවරණ යනු ජනතා අපේක්ෂාව පිළිබිඹුවන කැඩපතක් නිසාවෙනි.

මැතිවරණ කල් දැමීමෙන් සිදුවන අගතිය පෙරළා එල්ල වන්නේ ආණ්ඩුවටය.

'සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය මැතිවරණ මත පවතී' යන්න ප්‍රකට කියමනකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයේ වගන්ති 30න් 21ක් වන වගන්තියේ සඳහන් ආකාරයට රටක පාලන බලයේ පදනම ජනතාවගේ කැමැත්ත විය යුතු බවට සඳහන්ය. එවැනි තත්ත්වයක් තුළ මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුවීම අතිශයින් වැදගත්ය. ප්‍රසංසනීයය.

කෙසේ වෙතත් නිසි කලට, නිසි පරිදි මැතිවරණ පවත්වනවා සේම එකී මැතිවරණවලට නිසි පරිදි වගකීම් සහගතව දායක වීම පුරවැසියාගේ වගකීමකි. සර්වජන ඡන්ද බලය සෙල්ලමකට ගැනීම වූ කලී 'අවාසනාවකි'.

කුප්‍රකට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා ඉතිහාසයක් සේම මුදලට ඡන්දය විකිණීමේ ඉතිහාසයක්ද අප රටේ පුරවැසියා සතුය.

එක්තරා වකවානුවක පාට පෙට්ටිවලට ඡන්දය ලබා දී ස්වකීය නියෝජිතයන් තෝරා ගන්නා මැතිවරණ ක්‍රමයක් මෙරට පැවැතිණි. අපේක්ෂකයන් විසින් ඡන්දදායකයන්ගේ ඡන්ද මිලට ගනු ලබන නීතිවිරෝධී ක්‍රියා එවකද පැවැතිණි.

“මැතිවරණ සාක්ෂරතාව” අනිකුත් බොහෝ රටවලට සාපේක්ෂව අප රටේ ඉතා ඉහළ බව 1947 වසරේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූ අවස්ථාවේදීම පෙනී ගොස් තිබෙන්නකි. පළමු මැතිවරණයේ සිටම ලාංකේය ඡන්ද හිමියන් ඡන්දය සලකුණු කරනු ලබන්නේ ඡන්ද පත්‍රිකාව මත පැන්සලකින් කතිරයක් ගැසීමෙනි. එහෙත් අනිකුත් බොහෝ රටවල ඒ ඒ ඡන්ද අපේක්ෂකයන්ට වෙන් කරන ලද එකිනෙකට වෙනස් පාට සහිත පෙට්ටි භාවිතය, ඡන්ද පත්‍රිකාවේ අදාළ අපේක්ෂකයාගේ සලකුණ මත හෝ ඉදිරියෙන් කටුවකින් සිදුරක් සෑදීම නැතහොත් මුද්‍රාවක් භාවිත කර අදාළ අපේක්ෂකයාගේ සලකුණ ඉදිරියේ මුද්‍රා සලකුණක් තැබීම යනාදී ක්‍රම භාවිත කර ඇත. එසේ වුවද ලංකාවේ 1982 වසරේ සිට පැවැත්වෙන ජනාධිපතිවරණවලදී කතිරය සලකුණු කිරීම හැර අවශ්‍ය වුවහොත් 1,2,3 සලකුණු කිරීමට ඡන්ද දායකයාට හැකියාව පැවතුණි. තමන් රිසි අංක මත කතිරය සලකුණු කිරීමට අංක පිළිබඳ අවබෝධයක් ඡන්ද දායකයාට තිබිය යුතු අතර ලංකාවේ ඡන්ද දායකයන් වඩා දැනුවත් පිරිසක් බව මෙකී කාරණා සනාථ කරන්නේය.

එක්තරා කොට්ඨාසයකට තරග කළ අපේක්ෂකයෙක් ඡන්දදායකයන්ට රුපියල් දහය බැගින් බෙදා ඉල්ලා සිටියේ තමන්ට ඡන්දය දෙන්නැයි කියාය. ඔහු එහෙම ඉල්ලීමක් කොට නික්ම ගිය පසු අනෙක් අපේක්ෂකයා ඡන්දදායකයන් වෙත පැමිණියේය. ඔහු කළේ මුලින් අපේක්ෂකයා දුන් රුපියල් දහය ඉල්ලාගෙන ඒ වෙනුවට රුපියල් පහළොව බැගින් ඡන්දදායකයන් අතර බෙදා දීමය.

ඡන්දදායකයෝ තමන්ට රුපියල් පහළොවක් දුන් අපේක්ෂකයාට ඡන්දය දුන්හ. එහෙත් ඔහු රුපියල් පහළොව දෙන විට රුපියල් දහයක් පෙරළා ඉල්ලාගත් බව අමතක කළහ. සමහරු මැතිවරණ සෙල්ලමට ගත්තේ එහෙමය.

සමස්ත ආසියා මහාද්වීපයේ සහ ඔස්ට්‍රේලියා කලාපයේ සියලුම රටවල් අතුරින් සර්වජන ඡන්ද බලය ලංකා වාසීන්ට පෙර හිමිව තිබුණේ නවසීලන්ත වැසියන්ට පමණි. 1931 වසරේ සිට අප රටේ පුරවැසියන් සර්වජන ඡන්ද බලය භුක්ති විඳිනු ලැබූ අතර බ්‍රිතාන්‍යයේ පවා සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක වන්නේ 1928 සිටය.

එවන් ඡන්ද බලය ප්‍රයෝජනවත්ව සහ වගකීම් සහගතව යොදා ගන්නට පුරවැසියා සමත් වේ නම් ඒ සමාජය බෙහෙවින්ම අපූරුය.

මාතෘකා