උසස් අධ්‍යාපනයේ ඵල ලැබීමට නම්

උසස් අධ්‍යාපනයේ ඵල ලැබීමට නම්

සරසවිවලට සිසුන් බඳවා ගැනීමේදී සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගයෙහි ජයග්‍රාහක ස්ථාන සඳහා ලකුණු ලබාදීමේ වැඩපිළිවෙළක් ඔක්. 5දා ආරම්භ විය. මෙය ඉතා වැදගත් පියවරකි.

මේ සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයකින් විරෝධයක් එල්ල වීමේ ඉඩක් නොමැත. ඊට හේතුව සිසුන්ගේ නිර්මාණ හැකියාවන්ට අනුබල දීම විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයේ සීමා පුපුරුවා හරින ප්‍රශස්ත පියවරක් වන හෙයිනි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි සිදු විය යුතු වෙනස්කම් පිළිබඳ කලක් තිස්සේම පවතින සංවාදයෙහි එක් පැතිකඩක් වන්නේ නූතන පුරවැසියකු ගොඩනැඟීමේ වැදගත්කමයි. විවිධත්වයට ගරු කරන, මානුෂීය හැඟීමෙන් යුතු සංස්කෘතික ජයග්‍රහණ පොදුවේ බුක්ති විඳීමේ ශික්ෂණයක් සහිත දැනුවත් රටවැසියකු බිහි කිරීමේදී නිර්මාණකරණය, රසවින්දනය සහ මානව ශාස්ත්‍ර විෂයයන් පරිශීලනය යන කරුණු තුනම වැදගත් වේ. ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයෙහි මේ සඳහා ඇති කුඩා අවකාශයන්ද උසස් අධ්‍යාපනයේදී මැකී යයි.

සරසවි වරම් ලැබීම යනු ඇතෙක් ඉඳිකටු සිදුරකින් රිංගා යෑම තරම් දුෂ්කර කටයුත්තකි. මෙහිදී ඉහළම ලකුණු ලබන්නෝ කඩපාඩමින් අගතැන්පත් ගිරව් වෙත්. මෙය අධ්‍යාපනයේ බරපතළ අඩුවකි. එය දැනුම පමණක් ඉලක්ක කරගනී. කුසලතා සහ ආකල්පවලට වැදගත් තැනක් හිමි නොවේ. මෙය වඩාත් කැපී පෙනන්නේ වෛද්‍ය, ඉංජිනේරු, නීතිය සහ කළමනාකරණ යනාදී විෂය ක්ෂේත්‍රවලය.

වෛද්‍යවරුන් එහි ආචාරධාර්මික පදනම එතරම් සැලකිල්ලට නොගැනීමෙන්ම එහි අනතුර අවබෝධ වේ. හිපොක්‍රටීස් දිවුරුම වෛද්‍යවරුන් ලෙස දිවුරුම් දීමේ පළමු ආචාර ධාර්මික පියවරයි. මේ දිවුරුම පන්සිල් පදයක් කීම මෙන් වචනයට සීමා විය යුතු නොවේ. හිපොක්‍රටීස් ජීවත් වූ ග්‍රීසිය සහ ග්‍ර්‍රීක සාහිත්‍යය පිළිබඳ මඳ අවබෝධයක් හෝ තිබෙන වෛද්‍යවරුන් සොයා ගැනීම ලංකාවේ නම් බෙහෙවින් දුෂ්කරය. මේ තත්ත්වය අනෙකුත් වෘත්තීය ක්ෂේත්‍රවලටද පොදු බව අසත්‍යයක් නොවේ. එසේ නම් මෙහිදී විය යුත්තේ උසස් අධ්‍යාපන විෂය මාලාව මෙන්ම සරසවිවලට බඳවා ගැනීමේ ක්‍රමවේදයද ප්‍රතිසංස්කරණයට ලක් වීමය.

නිර්මාණ ප්‍රතිභානය සහිත සිසුන්ට අවස්ථාවක් ලැබීම යනු හරවත් අනාගත ආයෝජනයකි. ලංකාවේ සමස්ත අධ්‍යාපනය දරුවන්ට පීඩාකාරී එකක් වීම බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. උසස් අධ්‍යාපනය ඊට දෙවැනි නැත. පිරිහුණු අධ්‍යාපනය සමාජ ප්‍රචණ්ඩත්වයට මුල පුරයි. ප්‍රචණ්ඩත්වයේ අක්මුල් සොයන සමාජ හා මානව විද්‍යාඥයන්ගේ නිගමනය වී ඇත්තේ සාහිත්‍ය කලා රසවින්දනය හා මානව ශාස්ත්‍ර විෂයයන් පරිශීලනය නොකිරීම සමාජ ප්‍රචණ්ඩත්වයේ පදනම බවය. එහි දායකත්වය විශාලය. ඒ අනුව බටහිර විශ්වවිද්‍යාල කලකට පෙර මීට පිළියම් යෙදීය.

උසස් පෙළ අසමත් වීම සරසවි වරම් නොලැබීමේ හේතුවයි. එහෙත් අසමතුන්ටද උසස් අධ්‍යාපනය ලැබීමේ විකල්ප මාර්ග නූතන අධ්‍යාපනයෙන් හඳුන්වා දෙනු ලැබ තිබේ. තම කුසලතා අනුව අ.පො.ස උසස් පෙළ සමත් වූවන් හැටියට පිළිගැනෙන ඩිප්ලෝමා සහතික විවිධ විෂයයන් යටතේ ලබාගැනීමේ හැකියාවක් පවතී.

අනෙක් වැදගත් කරුණ නම් සුවිශේෂී හැකියාවන් සහත අයට උසස් අධ්‍යාපන ආයතනවලින් ලබාදෙන අවස්ථාවයි. අප්‍රිකානු යෞවනයෙක් තමන් ජීවත්වන නිවස ආසන්නයේ කුණු කන්දෙන් සුන්බුන් වහල් කොට ගනිමින් රේඩියෝවක් නිර්මාණය කළේය. දෙවැනි පියවර ගමට ඇසෙන එෆ්.එම්. ගුවන්විදුලියකි. ඔහු පිළිබඳ ප්‍රසිද්ධ වීමේ ප්‍රතිඵලය බටහිර උසස් අධ්‍යාපන ආයතනයක ඉංජිනේරු ශිල්පය හැදෑරීමේ අවස්ථාව ලැබීමය. උසස් පෙළ සාධන මට්ටම කඩයිමක් විය. ඔහු එය ජයගත්තේය. ජාත්‍යන්තර තරගද ජයග්‍රහණය කරන ලාංකීය යෞවනයන්ගේ ඉරණම මේ අතින් කනගාටුදායකය. කෙටි කලකින් ඔවුන් රටට අමතක වේ. මේ තත්ත්වය වෙනස් කිරීම යුගයේ අවශ්‍යතාවකි.

මාතෘකා