ප්‍රහාරයට පෙර සිනාසීම

ප්‍රහාරයට පෙර සිනාසීම

ඉකුත් ඔක්තෝබර් 02 වැනිදා තුර්කියේ පිහිටි සෞදි තානාපති කාර්යාලයට ගිය මාධ්‍යවේදී ජමාල් කෂෝගී යළි ඉන් පිටතට නොපැමිණි අතර ඔහුගේ හදිසි අතුරුදන් වීම ගැන ලොව පුරා කතාබහට ලක්වීය. පසුව වාර්තා වූයේ ඔහු ඝාතනය කොට ඇති බවය.

‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතේ තීරු ලිපි රචකයකු ලෙස වසරක් පමණ කටයුතු කළ ජමාල් කෂෝගී එරට ප්‍රගතිශීලS පුවත්පතකින් ස්වකීය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේය. එහෙත්, ආගමික නායකත්වය විවේචනය කළා යැයි පවසා ඔහුව එයින් ඉවත් කරනු ලැබීය. තමා විශ්වාස කළ සත්‍ය සහ සාධාරණත්වය වෙනුවෙන් ඔහු පෙනී සිටියේය. සෞදි අරාබි පාලනය විවේචනය කිරීම නිසා උදහසට ලක්වූ හෙතෙම සිය රටින් විප්‍රවාසිකව ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කළේය. සෞදියෙන් පිටමංව ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ජීවත් වන ඔහු මිය යන මොහොතේ වොෂින්ටන් පුවත්පතේ ජනමාධ්‍යවේදියකු ලෙස සේවය කරනු ලැබුවේය.

ජනමාධ්‍ය යනු සිවුවෙනි ආණ්ඩුවය. බොහෝ විට පාලකයන්ගේ නුරුස්නාව හිමි වන්නේ මාධ්‍යටය. ඔවුන්ගේ සමාජ විරෝධී කටයුතුවලට එරෙහිව පෙරට එන බලය මාධ්‍ය සතුය. එනිසාම පාලකයෝ ස්වකීය සතුරන් ලෙස මාධ්‍ය අර්ථ ගන්වති.

2018 වසර ලෝකයේ මාධ්‍යවේදීන්ට එතරම් හොඳ කාලයක් නොවීය. වසර ආරම්භයේ සිට මේ දක්වා ලොව පුරා ජනමාධ්‍යවේදීන් 35කට වඩා ඝාතනය වී ඇත් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කර තිබේ. මේ ඝාතන අතරින් වැඩිම සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ඇෆ්ගනිස්ථානයෙනි. පසුගිය මාස කිහිපයේදී ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බෝම්බ පිපිරීම් සහ අවි ගැටුම්වලට මැදිව මිය ගොස් ඇති මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව 11කි. මීට අමතරව යේමනයෙන් සහ කොළොම්බියාවෙන් ඝාතන තුන බැගින්ද, ග්වාතමාලාවෙන්, පලස්තීනයෙන්, මෙක්සිකෝවෙන්, ඉන්දියාවෙන් ඝාතන දෙක බැගින්ද වාර්තා වී තිබේ. නිකරගුවාවෙන්, ලයිබීරියාවෙන්, බ්‍රසීලයෙන්, ස්ලෝවැකියාවෙන්, සිරියාවෙන්, පාකිස්තානයෙන් සහ ඉරාකයෙන් ඝාතන එක බැගින් වාර්තා වී තිබේ. පසුගිය ව‍සරේදී ලොව පුරා ඝාතනය වූ ජනමාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව 82කි. 2016 වසරේදී එය 122ක් ලෙස සඳහන් වී තිබේ. කෙසේ වුවද වසර පහක පමණ කාලයක් තුළ අවම මාධ්‍යවේදීන් සංඛ්‍යාවක් ඝාතනය වූ වර්ෂය ලෙස පසුගිය 2017 වර්ෂය සඳහන් කළ හැකිය.

මාධ්‍යවේදී ජමාල් කෂෝගිව බලධාරීන් විසින් 'ඉවරයක්'කර දමන්නේ තම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව ඔහු පෙරට පැමිණි නිසාය. ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබිය දැක්වූ ප්‍රතිචාරය ගැන අමෙරිකාව සිය කනස්සල්ල සහ උපහාස සහගත කෝපය පළ කළේය. "ලෝක ඉතිහාසයේ දුර්වලතම සැඟවීම මෙය" ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වා දුන්නේය.

ඔහු සඳහන් කළේ, මෙය කවුරුන් සැලසුම් කළ ද "ඔහුට බරපතළ ගැටලුවකට මුහුණ දීමට" සිදු වනු ඇති බවය.

මෙලෙස 'ඉවරයක්' කර දැමූ සහ 'ඉවරයක්' කරන්නට වෑයම් කළ මාධ්‍යවේදීහු ලොව පුරා සිටිති.

ශ්‍රී ලංකාවද එවන් ඉතිහාසයක් සහිත රටකි.

ඉකුත් වකවානුවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඇතුළුව මාධ්‍යවේදීන් දහතුන් දෙනෙකු ඝාතනයට ලක්විය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සදහටම අතුරුදන් කෙරිණි. කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, පොද්දල ජයන්ත ඇතුළු මාධ්‍යවේදීන් අසූහත් දෙනෙකු මාරාන්තික ප්‍රහාරයන්ට ලක්විය. මාධ්‍ය ආයතන ගිනි තැබීම පහර දිම ආදිය සුලබ කාරණා විය. එහි සුලබත්වය කෙසේවීද යත් පෞද්ගලික නාළිකාවලට පහර දුන්නාසේම රාජ්‍ය නාළිකාවලටද එදා ප්‍රහාර එල්ලවිය. ඊට අමතරව මාධ්‍යවේදීන් ගණනාවක් අත්අඩංගුවට ගනු ලැබිණි. තවත් බොහෝ පිරිසකට ජීවිත ආරක්ෂාව පතා රටින් පැන යෑමට සිදු විය. වෙබ් අඩවි ගණනාවකට පිවිසීම වැළැක්විණි.

මේ සියලු තත්ත්වයන් අතරේ ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් මට්ටමක පැවැතීම සතුටට කරුණකි. මක්නිසාදයත් මාධ්‍යවේදීන්ව 'ඉවරයක්' කොට දැමීමට නිල සහ නොනිල ලෙස රුකුල් දුන් ඉතිහාසයක් අප පසුකොට ඇති බැවිණි.

ඝාතනය, පහරදීම, තර්ජනය කිරීම, මිලට ගැනීම යන කුමන ක්‍රමය හෝ සලකා බලා බැරිම තැන රටින් පිටමන්වන තැනටවත් 'වැඩ' සිදු කිරීම පසුගිය සමයේ මාධ්‍ය අරබයා ඔවුන්ගේ පිළිවෙත විය. බලයෙන් පහවගිය පසු ඔවුන් එය සිදු කරන්නේ අලුත්ම ක්‍රමයකටය.

ඒ 'ඔයාගේ මාධ්‍ය ආයතනය මොකක්ද?'

කියා විමසා, මහ හඬින් සිනාසීම ය. ඒ සිනහවම ඔවුන් කිසියම් දවසක යොදා ගන්නේ 'වියරුවක්' ලෙස බවත් සිහි තබා ගැනීම වටින්නේය.

මාතෘකා