අලි මරණ වැළැක්වීම සඳහා කඩිනම් පිළියම්

අලි මරණ වැළැක්වීම සඳහා කඩිනම් පිළියම්

දුම්රියේ ගැටී සිදු වන අලි මරණ සුලබ සිදුවීමක් බවට පත්ව තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක මැදිහත්වීමක් තවමත් සිදු නොවීම අභාග්‍යයකි.

"අපට දුම්රිය ගමන් නවත්තන්නද කියන්නෙ?"

මෙවැනි උද්ධච්ච ප්‍රතිචාරවලින් ප්‍රශ්නය මඟහැර යෑම ශිෂ්ට සම්පන්න නොවේ. එය මිනිස්කම පිළිබඳ ගැටලුවකි.

වාර්තාගත වී ඇති අන්දමට දුම්රියේ ගැටීමෙන් වැඩිම අලි මරණ සංඛ්‍යාවක් සිදු වී ඇත්තේ 2018 වසරේය. ඔක්තෝබර් මස වන විට සිදු වී ඇති මරණ සංඛ්‍යාව

14 කි. 2012 වසරේ සිට මෙය ලියැවෙන මොහොත දක්වා දුම්රියේ ගැටීමෙන් අලි ඇතුන් 71 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙය ශෝචනීය තත්ත්වයකි. කිසිසේත්ම විසඳුම් ප්‍රමාද කළ යුතු නොවේ. හක්ක පටස් පුපුරා යෑම, පොලිතින් අමාශයේ එකතුවීම හා වෙඩි තැබීම යනාදී විවිධ හේතුද අලි ඇතුන් ඝාතනය වීමට බලපායි. මේ ගැටලුව පිළිබඳ දිගු කලක් තිස්සේ සංවාදයක් පැවතුණද ස්ථිර වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කිරීම සිදුවී නොමැත. කතා සාප්පුවල අඩුවක්ද නැත.

වනගහනය හැකිළී යෑම නිසා අලි ඇතුන්ට වාසභූමි අහිමිවන්නට පටගැනුණේ කලක පටන්ය. වනගහනය ඇතත් නැතත් අලියකු දිනකට විශාල දුරක් ගමන් කරයි. ආහාර සහ ජලය සොයා යෑම ඊට බලපෑ එක් හේතුවකි. අනෙක් හේතුව එසේ ගමන් කිරීම අලි ඇතුන්ගේ චර්යා ලක්ෂණයක් වීමයි.

"අලි මිනිස් ගැටුම" නමින් වැරදි වහරක් සමාජගත වී ඇත්තේ අලි ඇතුන්ගේ ජීවන චර්යාවට හරස් වීමේදී ඔවුන්ගෙන් එල්ලවන ප්‍රචණ්ඩකාරී හැසිරීම්ය. පළමුව මේ සම්බන්ධයෙන් වන වාර්තාකරණයේ ආචාරධර්ම සකස් කර ගත යුතුය. දෙවැන්න අලි ඇතුන්ගේ මරණ වළක්වා ගැනීම සඳහා කෙටිකාලීන සහ දිගුකාලීන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමය. මෙය දේශපාලකයන්ටම කළ හැක්කක් නොවේ. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුත්තේ ඔවුන් විසින් බව ඇත්තය. එහෙත් ප්‍රතිපත්ති සැලසුම් කිරීම විෂයයට අදාළ විද්වතුන් හට භාර දිය යුතුය.

අලි ඇතුන්ගේ විෂය පිළිබඳ ලොව හොඳම විද්වතුන් දහ දෙනාගෙන් එක් අයෙක් ශ්‍රී ලාංකිකයෙකි. ඔහු වෛද්‍ය නන්දන අතපත්තුය. ඔහු ප්‍රත්පත්ති සම්පාදන කමිටුවෙහි අනිවාර්යයෙන් සිටිය යුතුය. එමෙන්ම නීතිඥ ජගත් ගුණර්ධන ඇතුළු පරිසරවේදීන් මෙය නියෝජනය කළ යුතුය.

නව නිර්මාණකරුවකු වන වෛද්‍ය සරත් විමලසූරිය අලි ඇතුන් දුම්රියෙහි ගැටීම වළක්වා ගැනීම සඳහා සුදුසු වන තාක්ෂණික උපකරණයක් අත්හදා බලමින් සිටී. මෙවැනි පර්යේෂකයන්ගේ සහයෝගය ලබා ගැනීමට දෙවරක් සිතිය යුතු නොවේ. දුම්රිය බලධාරීන් සඳහන් කරන පරිදි අලියකු ගැටීමට පෙර දුම්රිය තිරිංග යොදා නතර කිරීම දුෂ්කරය. ඊට හේතුව තිරිංග යෙදූ දුම්රිය මීටර් 600ක පමණ දුරක් ඇදී යෑමය. එවිට අලියා ගැටී අවසන්ය.

මේ නිසා වැදගත් වන්නේ තාක්ෂණය භාවිතයට ගනිමින් සන්නිවේදන උපක්‍රමයක් යොදා ගැනීමය. වත්මනෙහි ඒ සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ හා අත්හදා බැලීම් කරන තාක්ෂණයන් කැඳවා වඩා ප්‍රශස්ත ක්‍රමයක් හඳුනා ගැනීම බලධාරීන්ගේ වගකීම විය යුතුය. සාමාන්‍යයෙන් සිදුවන්නේ වැරැද්ද කාට හෝ පැවරීම සඳහා බෝලය පාස් කිරීමය. අලි ඇතුන්ගේ මරණවලින් 04%ක් දුම්රිය නිසා සිදුවීම කිසිසේත්ම නොසලකා හැරිය යුත්තක් නොවේ.

කියුබාවේ රසායනික පොහොර හිඟයක් ඇතිවූ මොහොතෙහි එරට කෘෂි විශේෂඥයන් කැඳවූ පිදෙල් කස්ත්‍රෝ ස්වදේශික සම්පත් යොදවාගෙන පොහොර නිපදවීමේ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් අර්බුදයට මුහුණ දුන්නේය.

අලි ඇතුන් අපගේ ජාතික සම්පතකි. එය ආරක්ෂා කර ගැනීම සඳහා කස්ත්‍රෝ පන්නයේ වැඩපිළිවෙළකට නොපමාව යා යුතුය.

මාතෘකා