කුහක වත

කුහක වත

1964 ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ශ්‍රී ලංකාවට සුවිශේෂී විය. ඒ මෙතෙක් ලොව බිහිවූ 'හොඳම පරාජිතයන්' අතර ප්‍රමුඛයා ශ්‍රී ලංකාවෙන් බිහි වූ නිසාය. ඔහු

ආර්. ජේ. කේ. කරුණානන්දය. කරුණානන්ද කවරෙක්දැයි බොහෝ ශ්‍රී ලාංකිකයන් නොදැන සිටියාට ජපානයේ නොදරුවකු පවා ඔහු ගැන දනී.

දෙවන ලෝක යුද්ධයෙන් වැනසුණු ජපානය නැවත ගොඩගැනීම උදෙසා බලසම්පන්න ධනාත්මක චින්තනය ප්‍රායෝගිකවම ජපනුන්ට කියා දුන්නේ කරුණානන්දය. පළමු, දෙවැනි, තෙවැනියන් තමන් පසුකොට ගොස් ඉසව්ව නිමා කළ පසු සෙස්සෝ තරගය අත්හැර දමති. කරුණානන්දගේ ඉසව්වේදිත් සිදුවූයේ එයමය. එහෙත් කරුණානන්ද තනිවම වට සියල්ල දිවගොස් නිසි පරිදි ඉසව්ව නිම කළේය. තරගයේ අවසන් වට තුනම තනිව දිවයමින් විනාඩි 34යි තප්පර 21.6කට පසුව ඔහු තරගය නිම කරද්දී ක්‍රීඩාංගණයේ රැස්ව සිටි හැටදහසකට අධික නරඹන්නන් පිරිස තමන්ගේ අසුන්වලින් නැඟිට මේ අපූරු ධාවකයාට ගෞරව දක්වන්නට වූහ. 'හැමෝම දිනලා ඉවර වුණාම පැරදුණු බව ඔබ දැනගෙනත් ඇයි මේ විදිහට දිව්වේ? ''කරූගෙන් එක් මාධ්‍යවේදියෙක් විමසීය. ''මම ආවේ පදක්කමක් දිනන්නම නෙවෙයි. මගේ රට නියෝජනය කරන්නයි. ඔලිම්පික් තේමාවත් ඒකනේ. මම ඒක ඉටු කළා. පරාජය දැක දැක හරි මම දිව්වේ මගේ රට වෙනුවෙන්'' කරුණානන්ද කීය.

තරගයෙන් ජයගත්තේ විලියම් මිලාස්ය.

''මේ තරගයේ රන් පදක්කම හිමිවිය යුතුව තිබුණේ මට නොවෙයි. අර ධෛර්යවන්ත ශ්‍රී ලාංකිකයාටයි'' යනුවෙන් මිලාස් කීවේය.

කරුණානන්ද ජපානයට සම්පතක් විය. එනිසාම වර්ෂ 1975දී සිය අඹුදරුවන්ද සමඟ එරටට පැමිණීමට ඔහුට ශිෂ්‍යත්වයක් පිරිනැමුණි.

එහෙත් ජපානයට යෑමට පෙර අම්පාර නාමල් ඔය ජලාශයේදී ඔරු පැදීමට ගොස් දියේ ගිලීමෙන් කරුණානන්ද ජීවිතක්ෂයට පත්විය. යුද හමුදා සාමාජිකයකු වූ ඔහු අම්පාර යුද හමුදා කඳවුරේ සේවයේ යෙදී සිටියදී මෙසේ මරණයට පත්ව තිබූ අතර, සැබැවින්ම ඔහුගේ මරණය අදටද නොවිසඳුණු අබිරහසකි. කරුණානන්ද ජපානයේදී අපරාජිත පරාජිතයෙක් විය. එදා ලොවම ඔහු ගැන කතා කළත් මෙරටට ඔහු 'දැනෙන' මාතෘකාවක් නොවීය. ජපානයේ දරුවන්ගේ පෙළ පොතට 'අපරාජිත කරුණානන්ද' ඇතුළත් වුවත් ලංකාවට ඔහු වැදගත් නැත. ඒ මේ ලංකාව නිසාය.

අප පුදුමාකාර කුහක ජාතියකි. අනෙකාගේ වටිනාකම අපට වැඩක් නැත. බොහෝ දෙනා සිතනුයේ තමන් මිස වෙනකකුට ජයක් ලබන්නට ඉඩක් හෝ අයිතියක් නැත කියාය.

පෙරට එන ක්‍රීඩකයන් ඒ ඒ රටවල් රැක බලා ගන්නේ 'පුදුමාකාර ප්‍රවේසමකින්'ය. තමන් පරයා පෙරට එන්නාට ගරහන ගතිය ලංකාවේ තරම් වෙන මොන රටකවත් දකින්නට නොහැකි තරම්ය.

'අපිට වගේ බෑ... අපි තරම් දක්ෂ නෑ... අපි තරම් දන්නේ නෑ... අපිට කිට්ටුවෙන්නවත් අලුත් අයට බෑ...'

මේවා ඒ ඒ ක්ෂේත්‍රවලට අරක්ගත් ඇතැම් ප්‍රවීණයන්ගේ උදාන වාක්‍යය.

ලෝකයේ අග්‍රගණ්‍ය පාපන්දු ක්‍රීඩකයා පේලේ ය. එහෙත් පසු කලෙක ඔහු මැරඩෝනා ලොව අංක එකේ තරුවක් බව නොසඟවා කීවේය. බ්‍රැඩ්මන් ලොව අංක එකේ පිතිකරුවාය. තෙන්ඩුල්කාර් තරුවක් බව බ්‍රැඩ්මන් නොසඟවා පිළිගත්තේය. මොහොමඩ් අලි ලොව අංක එකේ බොක්සින් ක්‍රීඩකයාය. මයික් ටයිසන් තරුවක් බව අලි පිළිගත්තේය. එහෙම නොවී නම් ඔවුහු කුහකයෝය.

මීට දශක තුන හතරකට පෙර සිටි මෙරැටියෝ ගල්ලෑලි රැගෙන පාසල් ගියහ. අද දරුවන් තාක්ෂණයෙන් අගතැන්පත්ය. 'අපිට අද අයට වගේ පහසුකම් නෑ. අපි වැඩ කළේ ගල්ලෑල්ලෙන්. එහෙම බැලුවම මේ අය අපේ අහලකින්වත් තියන්න පුළුවන්ද?' කියා යමෙක් අසනවා නම් ඒ තරම් කුහකයෙක් තවත් නැත.

පැරණි මල් කල්යත්ම පරවෙන බවත්, ඒ වෙනුවට අලුත් මල් පිපිය යුතු බවත් ඇතැමුන් කල්පනා කරන්නේ නැත. අලුත් මල්වල සුවඳ දසත හමනවාට සමහරු කැමැතිද නැත.

එහෙත් සොබාදහම නවතින්නේ නැත. ඊට තිබෙන්නේ අනවරත ගමනකි. එය නවත්වන්නට කිසිවකුට නොහැක.

මාතෘකා