හානිපූරණය සහ මනුෂ්‍ය වගකීම

හානිපූරණය සහ මනුෂ්‍ය වගකීම

හානිපූරණ පනත දෙකොන පත්තු වන විලක්කුවක් බවට පත් කර ගැනීම සඳහා ඇතැම් පාර්ශ්ව උත්සාහ දරමින් සිටිනු පෙනේ. යන එන මං නැති වූ ඇතැම් දේශපාලන කල්ලි මෙය අඩයාළමක් කරගනිමින් හැකි නම් මහජන කැලඹිලි ඇතිකිරීමේ යටිකූට්ටු වැඩවලටද අතගසනු ඇත. හානිපූරණ පනතෙහි අරමුණ වී තිබෙන්නේ දේශපාලන, යුද, සිවිල් ගැටුම් නිසා හානියට හා අසාධාරණයට ලක් වූ විවිධ පාර්ශ්වවලට ජාති, ආගම් භේද නොතකා වන්දි ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමය.

මේ වනාහී කිසිඳු මනුෂ්‍යයකුට එරෙහි විය නොහැකි ශිෂ්ට ක්‍රියාමාර්ගයකි. ඊට එරෙහි වන්නා මනුෂ්‍යයකු ලෙස සැලකිය හැකිදැයි දෙවරක් සිතා බැලිය යුතුය. ශ්‍රී ලංකාව අතිමහත් විනාශයකට තල්ලු කළ යුද්ධය තිස් අවුරුද්දක් දිග්ගැසුණේය. යුද්ධය නිසා ජාති භේදයකින් හා පළාත් භේදයකින් තොරව බොහෝ පුද්ගලයන්ට හානි සිදු විය. විනාශ වූ දේපළ හා මිනිස් ජීවිත, ආබාධිතයන් සහ වැන්දඹුවන් පිළිබඳ තොරතුරු විමසන කල විනාශයෙහි තරම දැනේ.

යුද්ධයක් අවසන් වූ වහාම අනුගමනය කරන ලොව පිළිගත් ශිෂ්ට සම්පන්න ක්‍රමය මෙසේය.

1. යුද්ධයෙන් සිදු වූ හානිපූරණය සඳහා ක්ෂණික පියවර ගැනීම

2. නැවත යුදමය තත්ත්වයක් ඇති නොවනු පිණිස

දිගුකාලීන සැලසුමක් ඔස්සේ ව්‍යවස්ථාමය, සමාජීය හා සංස්කෘතිකමය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් දියත් කිරීම.

යුද්ධය අවසන් වූ වහාම එවක පැවති රජය මේ කරුණු දෙකම පිළිබඳව දැක්වූයේ අඩු අවධානයකි. ඊට ප්‍රතිපක්ෂව මෙය සිංහල බෞද්ධ ජනතාවගේ විජයග්‍රහණයක් හැටියට සලකා ජයෝන්මාදය සමාජගත කිරීමේ දැවැන්ත මාධ්‍ය සංස්කෘතික මෙහෙයුමක් දියත් විය. යුද්ධයෙන් ආබාධිත වූ, වැන්දඹුවන් බවට පත් වූ, ඥාතීන් අහිමි වූ මිනිසුන්ගේ තුවාල වූ හදවත් තවතවත් තුවාල කරනු මිස සුවපත් කිරීමක් එයින් සිදු නොවීය. කොටින්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත්කරන ලද උගත් පාඩම් කොමිසමේ එක් නිර්දේශයක් වූ හානිපූරණය ඔවුන් විසින්ම තඹේකට නොසලකා හරින ලදී.

පශ්චාත් යුද සමයක සංක්‍රාන්තිය යුක්තිය සහ ජාතික එක්සත්කම ගොඩ නැඟීමේ උත්සාහය යම් පමණකට හෝ දියත්වන්නට පටන් ගත්තේ ජනවාරි 8 දේශපාලන පෙරළියෙන් පසුවය.

ඒ අනුව උතුරු නැඟෙනහිර ඉඩම් මුල් අයිතිකරුවන්ට ලබාදීම, හානි වූ නිවාස ඉදිකිරීම, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, ප්‍රවිචාරණ බළකාය පිහිටුවීම යනාදී සාධනීය පියවර කිහිපයක් ගනු ලැබීය. මේ ඇතැම් ක්‍රියාකාරිත්වයන් මන්දගාමී වූ පමණින් එය නිෂේධනාර්ථයෙන් නොගත යුතුය.

හානිපූරණ පනත යනු එහි අලුත් පියවරයි. මේ පිළිබඳව අදහස් දක්වන විශ්‍රාමික ඇතැම් හමුදා නිලධාරීන්ගේ ප්‍රකාශ අනුව ඔවුන්ගේ රාජකාරි සමය පිළිබඳවද බරපතළ සැකසංකා මතු වේ. ඇතැම් ආගමික පාර්ශ්වවල ප්‍රකාශ ඔවුන්ගේ ශාස්තෘෘවරුන්ටද නින්දාවකි. පරාජිත දේශපාලන පාර්ශ්වවල හැසිරීම පිළිකුල් සහගතය. වමේ ඇතැම් පක්ෂ වැඩවසම්වාදයට කඩේ යමින් සිටින අතරතුර ජවිපෙ මේ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් දක්වා තිබේ.

පරිවාස පාලන සමයෙහි යුද්ධය කෙළින් කිරීම සඳහා විධායක බලතල පාවිච්චි කරන්නැයි ලණු දුන්, දෑත ශක්තිමත් කිරීම සඳහා ඒකාධිපතිත්වයට ඔජ වැඩූ පක්ෂයක් මෙලෙස හරි මඟට වැටීම පිළිබඳ අපගේ ප්‍රසාදය ඔවුන්ට හිමි විය යුතුය.

ඇතැම් වමේ පක්ෂ ගලේ පැහැරූ බළලුන් සේ ස්වකීය වැඩවසම් ස්වාමියාගේ බැලමෙහෙවර කරමින් සිටියි. මීට දශක කිහිපයකට පෙර ජාතීන් අතර සමානාත්මතාව හා ජාතීන්ගේ ස්වයං නීර්ණ අයිතිය වෙනුවෙන් මරහඬ තැළූ කණ්ඩායමක් යුද්ධයෙන් හානි සිදුවූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා පෙරමුණ නොගැනීම ඉතිහාසයේ ඛේදවාචකයකි.

මාතෘකා