දෙවැනි පෙළ පළමු පෙළ බවට පත් කරමු

දෙවැනි පෙළ පළමු පෙළ බවට පත් කරමු

තුන්වැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවසන් වූයේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳ "නැවත වරක්" නැවුම් බලාපොරොත්තු ඇති කරමිනි. නැවත වරක් යන්න අවධාරණය කරනුයේ මීට පෙර ලැබුණු අවස්ථා ශෝචනීය අයුරින් මඟ හැරී ගිය හෙයිනි. මලල ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තර මට්ටම දක්වා ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජවය ඊළඟ පරපුරට ආලෝකයක් නොවූයේ ක්‍රීඩා සංස්කෘතියක් නොමැති පරසරයක ඔවුන්ගේ හැකියාවන් අපතේ යෑම සහ පිරිහුණු දේශපාලනයේ බලපෑම්ය.

මෙවර ආර්ජන්ටිනාවේ පැවති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිව් දෙනෙක් තම දක්ෂතා පෙන්වූහ. මෙයින් දෙදෙනෙක් පදක්කම් ලැබූහ. අනෙක් දෙදෙනා පදක්කම් නොලැබුවද තම උපරිම දක්ෂතා පෙන්වමින් ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට සමත් වූහ. පාරමී වසන්තා, ෂෙලින්ඩා ජැන්සන්, සෙනිරු අමරසිංහ සහ ඩිලාන් බෝගොඩ යනු මේ සිව් දෙනාය.

මෙයින් වැඩිම අවධානයට පාත්‍ර වූ ක්‍රීඩිකාව වන්නේ මීටර් 2000 කාන්තා බාධක දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කම දිනූ පාරමී වසන්ති මාරිස්ටෙලාය. මීට අමතරව ඇය රට හරහා දිවීමේ බාධක ඉසව්වේ ක්‍රීඩිකාවන් අතරින් සිව්වැනි ස්ථානයට පත් වූවාය. ඇය ශ්‍රි ලංකාවේ යොවුන් රග්බි කණ්ඩායමද නියෝජනය කරයි.

ෂෙලින්ඩා ජෙන්සන් මීටර් 200 ඉසව්වේ දෙවැනි වටයේ පළමු ස්ථානයට පත් වෙමින් සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශාගෙන් පසුව හොඳම වේගයට උරුමකම් කීවාය.

සෙනිරු අමරසිංහ උස පැනීමේ ඉසව්වේ දෙවැනි වටයෙන් සිව් වැනි ස්ථානය හිමිකරගත්තේ මංජුල කුමාරගෙන් පසුව බිහිවන හොඳම ක්‍රීඩකයා බවට පත් වීමේ ලකුණු පෙන්වමිනි. ඩිලාන් බෝගොඩ මීටර් 400 ඉසව්වේ දෙවැනි වටයෙන් සිව්වැනියා වෙමින් අවසන් වටයේ හත්වැන්නා බවට පත් වූයේ මහත් බලාපොරොත්තු ඇති කරවමිනි.

මෙම යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම දස්කම් පෙන්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට අඳුරු දසාවක් උදාවී ඇති යුගයකය. ඊට බොහෝ සාධක තිබෙන්නට පුළුවන. එහෙත් මේ ජයග්‍රහණ ඔස්සේ ලැබෙන සංඥාව නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් වර්ධනය කිරීමට අනුබල දෙන පරිසරයක් ගොඩ නැඟීම නොපමාව සිදු කළ යුතු බවය.

මොවුන්ගේ ජීවන තතු විමසන විට පෙනී යනුයේ ඇතැමුන්ට තම කුසලතා දියුණු කරගැනීමේ අවම පහසුකම්වත් නොතිබී ඇති බවය. ජයග්‍රහණවලින් පසුව සිරිත් පරිදි සිදුවනුයේ විවිධ මට්ටමේ ප්‍රභූවරුන් තමන්ට ලකුණු ලබා ගැනීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අඩයාළමක් කරගැනීමය.

වරදානවලට සීමා කිරීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ "මං මෙච්චර දිනුවා. මට මෙච්චර ඕනෑ" කියන මට්ටම දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිහීමය. මෙය අවාසනාවන්ත තත්ත්වයකි. තමා ලැබූ ජයග්‍රහණය සහ ඇගයීම සමාජ ප්‍රභූත්වය ලැබීමේ යානයක් බවට පත්කරගත් කල සුපුරුදු ක්‍රීඩාව අවසන් වී වෙන වෙන ක්‍රීඩාවලට තල්ලු වීමේ අනතුරක් ඇති වන බවට සාක්ෂි මෑත ඉතිහාසයෙන් ලැබේ.

කටුක පරිසරයකින් ඉහළ මට්ටම දකවා පැමිණි කල "ඇරියස් කවර් කර ගැනීම" ක්‍රීඩාව මෙන්ම සෑම ක්ෂේත්‍රයකම කැපී පෙනෙන ලක්ෂණයකි. එවිට තම කීර්ති නාමය තොරොම්බල් කරමින් යාන වාහන, තනතුරු, නිවාස සහ වෙනත් වරදාන හඹා යෑමට ඔවුහු පෙළඹෙති. එපමණක් නොව ගමෙන් ගෙනා උරුමයන් අතර ඇති කුඩුකේඩුකම සහ ඉරිසියාව ප්‍රසිද්ධියේ ගෙන හැර පාති. කොස් පොලොස් කෑම අහිංසක ලෙස පෙනුණද ඒවා දිරවන ශරීර කූඩුවල අදහස් අහිංසක නොවීම කොස් පොලොස් කෑම හා නොකෑම පිළිබඳ ප්‍රශ්නයකට වඩා පිරිහුණු සංස්කෘතියක ප්‍රතිඵල බව කිව යුතුය. වරදාන දීමට ඉදිරිපත්වන ප්‍රභූවරු ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් බලාපොරොත්තු වූ අවස්ථාද ඉතිහාසයේ නොතිබුණා නොවේ.

නිසි අවධානයට ලක් වුවහොත් ක්‍රිකට්වලට නොදෙවෙනි දුරක් යෑමේ හැකියාවක් ශ්‍රී ලංකාවට ඇති බව ධීවර පවුලක උපන් පාරමී වසන්තා මාරිස්ටෙලා යොවුන් ක්‍රීඩිකාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී සුසන්තිකා ජයසිංහටත් වඩා හොඳින් පෙන්වා දී ඇත. එය ප්‍රබල සංඥාවකි. එය මඟ හැරිය යුතු නොවේ.

මාතෘකා