සභාගය කා වෙනුවෙන්ද?

සභාගය කා වෙනුවෙන්ද?

සභාග ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ උත්සාහයක් පිළිබඳ දේශපාලන වේදිකා දෙවනත් කෙරෙමින් පවතී. ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව මේ පිළිබඳ බලවත් උනන්දුවකින් කටයුතු කරන අතර එහිම ඇතැම් පාර්ශ්ව මෙයට කුළු ගෙඩි පහර එල්ල කරමින් සිටී. සභාග ආණ්ඩුවකට එරෙහිව සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ උත්සාහයක් ලෙස මෙය බැලූ බැල්මට පෙනුණත් යෝජිත සභාගය ඇත්තටම සභාගයක්ද යන්න වෙනම විමසිය යුත්තකි.

වත්මනෙහි පවතින ආණ්ඩුව මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්ව පිහිටුවන ලද්දකි. එවැනි අත්දැකීමක් මෙරට දේශපාලන පාක්ෂිකයන් අත්විඳ නොමැති හෙයින් ඊට එරෙහිව කටයුතු කළ පාර්ශ්ව දෙකක් පක්ෂ දෙකෙහිම ක්‍රියාත්මක විය. මෙයින් වඩාත් කැපී පෙනෙනුයේද ආණ්ඩුවේ පැවැත්මට බාධා කිරීම අතින් ප්‍රබල වූයේද මහින්ද පිල නියෝජනය කරන ඒකාබද්ධයයි.

"කැපුවත් කොළ පාට හා කැපුවත් නිල් පාට" පාක්ෂික විඥානය ඒකාබද්ධයේ පදනමට හේතු වී තිබේ. දේශපාලන පක්ෂවල ඓතිහාසික ගමන්මඟ අනුව බැලූ කල බෙදා වෙන් කර දැක්විය හැකි තරමේ බරපතළ ප්‍රතිපත්තිමය වෙනසක් මේ පක්ෂ දෙකෙහිම නැත. බලය ලබා ගැනීමේදී ඉතිහාසයේ මොනවා කියා ඇතත් පක්ෂ දෙකම විවෘත ආර්ථිකය පිළිගනී. විදේශ ප්‍රතිපත්තියෙහිද එදා පැවති තරමේ වෙනසක් නැත.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරෙහි සිරිකොත පැවති එජාප සම්මේලනයේදි කළ ඓතිහාසික කතාවෙන්ද පැහැදිලි වූයේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම උදෙසා පොදු සම්මුතීන් අනුව කටයුතු කිරීම පක්ෂ දේශපාලනයට වඩා වැගත් වන බවය. එම සම්මුතිය අනුව ජනපති හා අගමැති සුසංයෝගයෙන් රටේ අනාගතයට වැදගත් වන තීන්දු රැසක් ගනු ලැබීය. එහෙත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් සතුටු විය නොහැක.

විශේෂයෙන්ම රට අගාධයට ගෙන යෑමට සැරසෙන ඊනියා ජාතිකවාදී බලවේග කළු සල්ලි දේශපාලනය සමඟ කරන සෙල්ලම ඉදිරියේ ආණඩුවේ පැවැත්මට එල්ලවී ඇති අභියෝගය පිළිබඳව මීට වඩා සවිඥානික විය යුතුය.

මෙහිදී බලගතු ආගමික පාර්ශ්ව ප්‍රතිගාමිත්වය ප්‍රවර්ධනය කරමින් ආණ්ඩුවට මාරක අභියෝග එල්ලකරමින් සිටී. මේ නිසා ඇතැම් ක්‍රියාමාර්ග පසුපසට ගැනීමටද සිදු වී තිබෙනු පෙනෙයි. මෙය එතරම් හොඳ ලකුණක් නොවේ.

අලුතින් සභාග ආණ්ඩුවක් පිහිටුවීමට සැරසෙන ඊනියා ඒකාද්ධයේ කල්ලිවල අරමුණ යහපාලන ආණ්ඩුව නීතියේ සාධාරණත්වය සඳහා එලමින් සිටින දැලෙන් බේරීමය. හැකි නම් ආණ්ඩුව බියගන්වා එයින් කොටසක් කඩාගෙන මොන විදියෙන් හෝ බලය ලබාගෙන පැරණි තැටිය වාදනය කිරීම හෙවත් යකා නැටීමය. මෙය භයානක සූදුවකි. තැබූ පියවර ආපස්සට ගනු ලැබුවහොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එයින් විය හැකි අනතුර විශාලය.

ජනවාරි 8 විප්ලවයට පෙර රටෙහි පැවතුණේ අරාජික පාලනයකි. ඒ මර උගුලෙන් ගැලවිණ. මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ සියලු දේ එයාකාරයෙන්ම ඉටු නොවුණු බව ඇත්ත නමුත් ලැබුණු නිදහස් වාතාවරණය කිසිම අවධියක නොතිබිණි. එය රජයේ දුබලකමක් ලෙස ඇතැම් පාර්ශ්ව දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අයන්නවත් නොදන්නා හෙයිනි. මෙහි වටිනාකම දැනෙනුයේ මේ මොහොතද අහිමි වූ විටය.

විවේචනාත්මක සහායක් දෙමින් ලබාගත් ජයග්‍රහණ තහවුරු කරන අතර ඉටු කිරීමට අසමත් වූ වගකීම් ඉටු කිරීම සඳහා ආණ්ඩුවට බල කිරීම මේ මොහොතේ මහජන වගකීමය. පරණ යකුන් කරළියට කැඳවා මහසෝන් සමයම රඟ දැක්වීම විකල්පය නොවේ.

මාතෘකා