මැතිවරණ ඉල්ලන ප්‍රජාතන්ත්‍රවාදය

මැතිවරණ ඉල්ලන ප්‍රජාතන්ත්‍රවාදය

ප්‍රජාතන්ත්‍රවාදයේ මහෝත්සවය මැතිවරණයයි.

පළාත් සභා කිහිපයක පාලන කාලය මේ වන විට ඉක්ම ගොස් ඇත. තවත් පළාත් සභා කිහිපයක් ඉදිරි මාස කීපයක තුළ කල් ඉකුත්වීමට නියමිතය. එදා පළාත් සභාව ස්ථාපිත කරන විට ප්‍රසිද්ධියේ සහ අප්‍රසිද්ධියේ ඒ ගැන විරුද්ධ වූ පිරිස මේ වන විට පළාත් සභා මැතිවරණය ඉල්ලා හඬ නැඟීමට හැකි වාතාවරණය බිහි වීම ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ලබා ගත් ජයග්‍රහණයක්ය.

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේදී බලය විමධ්‍යගත කිරීම ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. බලය විමධ්‍යගත කිරීමේ අරමුණින් පිහිටවූ පළාත් සභා වෙනුවෙන් මැතිවරණය ඉල්ලමින් මාධ්‍ය ඔස්සේ මැතිවරණ කොමිසමට දොස් පවරන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, බලය දැඩිව මධ්‍යගතව ඇති විධායක ජනාධිපති ධුරය වෙනුවෙන් පෙනී සිටීම හාස්‍යයකි.

මැතිවරණ පැවැත්වීම හොඳය. නමුත් එදා රාජපක්ෂ යුගයේ මැතිවරණ පැවැත්වූ ආකාරයට නම් නොවේ. හිතවත් නැකැත්කරුවන්ගේ සහ නොපෙනෙන බලවේගවලට අවශ්‍ය ආකාරයට මෙරට මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවා දුන් ආකාරයට නොවේ. මැතිවරණවල අපේක්ෂකයන් මැතිවරණයෙන් පසු කුදලාගෙන ගොස් සිරගත කරන ආකාරයට නොවේ.

මැතිවරණ පැවැත්වීම ගැන යහපත් ආදර්ශ වත්මන් රජය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ලබා දුන්නේය. ඓතිහාසිකව, මෙරට බලයේ සිට පාලකයන් රුචි වූයේ වෙන වෙනම කොටස් කඩා මැතිවරණ පැවැත්වීමටය. ඒ තමන් සතු රාජ්‍ය බලය එක් තැනකට යොදා භූමියේ වාසිය ලබා ගැනීමටය. වත්මන් ආණ්ඩුව එයට සූදානම් නැති බවක් පෙනේ. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ සැබෑ ලෙසම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම විනා හුදෙක් තම බලය උදෙසා සටන් කිරීම නොවන බව ඔවුන්ගේ ක්‍රියාවෙන් ඔප්පු වී ඇත.

මෙරට ව්‍යවස්ථාවේ සිදු වූ වඩාත් ඉදිරිගාමීම ප්‍රතිසංස්කරණයක් ලෙස සැලකෙන ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමේදී පිහිට වූ ස්වාධීන මැතිවරණ කොමිසමට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලයක් ඇත. ඉන් පරිබාහිරව තම රිසි සේ ක්‍රියාත්මක වීමට ඔවුන්ට අවකාශ නැත. ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මකභාවයට දිගින් දිගටම බාධා කළ, එම කොමිෂන් සභාවල බලතල කප්පාදුව වෙනුවෙන් දිගින් දිගටම හඬ නැඟූ හිටපු පාලකයෝ, අද බලය නොමැතිව එම කොමිෂන් සභාවලට දොස් නැඟීම විහිළුසහගතය.

මැතිවරණ ක්‍රමයේ සහ කොට්ඨාසවල වෙනසක් සිදු විය යුතු බව දශක ගණනාවක් තිස්සේ මෙරට ජන සමාජය තුළ මුල් බැසගත් මතයකි. ඒ වෙනුවෙන් නොයෙක් කාලවලදී නොයෙක් සමාජ ව්‍යාපාර හඬ නැගීය. ඒ ජනමතය ඔස්සේ ගොඩනැඟුණ හෝ ගොඩනැඟෙමින් පවතින ප්‍රතිසංස්කරණ සර්ව සම්පූර්ණ යැයි කීමට අපි හදිසි නොවෙමු. නමුත් යම් ධනාත්මක වෙනසක් කරා තබා ඇති පියවර දෙස සෘණාත්මක ආකල්පයකින් බැලීමටද අප හදිසි නොවිය යුතුය.

සීමා නිර්ණය පිළිබඳව ජනතා නියෝජිතයන් පළකළ අදහස් සහ ඒ පිළිබඳව වර්තමානයේ ගොඩනැඟී ඇති කතිකාවතට යම් ඉඩක් වෙන් කළ යුතුය. ඒ ඔස්සේ නව මැතිවරණ වඩාත් ප්‍රජාත්නත්‍රවාදී, ප්‍රායෝගික මැතිවරණ ක්‍රමයක් ගොඩනඟනවා විනා, පසුගාමී දේශපාලකයන්ගේ වුවමනා වෙනුවෙන් යළි පියවරක් පසු පසට නොගැනීමට ජනතා නියෝජිතයන් වගබලා ගත යුතුය.

මාතෘකා