රතු නිවේදන

රතු නිවේදන

2004 සුනාමිය එන තුරුම රටක් ලෙස අප 'ආපදා' ගැන තැකීමක් කළේ නැත. එතුවක් මෙරටට එතරම් බිහිසුණු ආපදාවක් නොවීමත්, ලංකාව යනු ස්වාභාවික ආපදා කලාපයෙන් බැහැරව පිහිටි 'පින් බිමක්' යන සිහිනයත් නිසා අප සිටියේ අපට කිසිවක් සිදු නොවෙතැයි කියාය. 'දේවෝ වස්සතු කාලේන' යනුවෙන් කීවද, අප තේරුම් ගත යුත්තේ සියල්ල සොබාදහමේ උවමනාව මත සිදුවන බව විනා දේව උවමනාව මත සිදු නොවන බවය.

වරක් යකඩ බාර් තීරු කර හරින උදම් රළ මෙරට වෙරළාසන්න ප්‍රදේශ සුනුවිසුනු කළාට පසු යාන්තමට අපි ඇස් ඇරීමු. හතළිස් දහසකගේ ජීවිත තත්පර කිහිපයකින් උදුරා ගත් සුනාමිය පාඩම් රැසක් කියා දී ආපසු ගියේය. එහෙත්, මේ ශ්‍රී ලංකාවය..! මතකයන් අමතක වන්නට එතරම් කලක් අපට අවැසි නැත.

දැන් සුනාමිය ගැන වගේ වගක් නැත. සුනාමිය පැමිණියාට පසු ආණ්ඩුව විසින් එවක තීන්දු කිහිපයක් ගනු ලැබීය. වෙරළ සීමාවේ ඉදිකිරීම් ඉන් ඈත් කොට සීමා පැනවීම එහි එක් පියවරක් විය. එහෙත්, මේ වන විට ඒ සියලු නීති මුහුදු රළ එක්කම නික්ම ගොසින්ය. ලංකාව වටා වෙරළෙහි ප්‍රධාන පෙළේ අනවසර ඉදිකිරීම් 1200කට වැඩි ප්‍රමාණයක් ඇතැයි වාර්තා වෙයි.

ඊට අමතරව වෙරළාසන්න පදිංචිකරුවෝ දහස් ගාණක් සිටිති. 1983 වර්ෂයේ සිට ඉදිකරන ලද නිවාස, තානායම්, හෝටල් සහ තාප්ප පවා මේ අතර වෙයි. ඒවා ඉවත් කිරීමට ආණ්ඩුවෙන් ප්‍රතිපාදනද වෙන් කොට තිබේ. එහෙත් ඉවත් කරනවා වෙනුවට එකතු වීම සහ ඉදි වීම අනවරතව සිදු වේ. අනතුර ගැන කිසිදු වග විභාගයක් නැත. ආපදා සහ අවදානම ගැන නැවත අවධානය යොමු වන්නේ අනෝරා වැසි වැටෙන විටය. නැතිනම් මහ පොළොව ඉරිතළන තුරු ඉඩෝරය මතුවන විටය.

සොබාදහම සමඟ හාද වීම වෙනුවට භේද වීම තෝරා ගන්නන්ට පෙරළා ලැබෙන ප්‍රතිඵලය බිහිසුණුය. එය තීන්දු කරන්නේ සොබාදහම විසින්මය. අනෝරා වැසි පතිතව අරණායක, මීරියබැද්ද, කොස්ලන්ද වැනි කඳු නායගොස් ජීවිත වනසා දැමූ මතකය මේ වන විට බැහැරව ගොසින‍්ය. අවදානම් කලාපවල ජීවත් වීම බරපතළ අනනතුරුදායක වැඩක් බව කොතෙක් කීවද කිසිවකු මායිම් කරන්නේ නැත. එදා මෙදාතුර ලංකාවේ ස්වාභාවික ව්‍යසන ආකෘතිය පිළිබඳව කිසිවකු උනන්දු වන්නේ නැත.

ඒ වෙනුවට එකිනෙකා කෙරෙහි චෝදනා නඟමින් වේදනාව පිට කරනවා විනා පිළියම් ගැන තැකීමක් කරන්නේද නැත. අනෙක් අතට අනවසර ඉදිකිරීම් සහ අවදානම් කලාපවල ඉදිකිරීම් සම්බන්ධව තීරණාත්මක තීන්දු ක්‍රියාත්මක වීමද 'නොසලකා හරින' තැනක පවතී. අවදානම් කලාප නම් කළද සමහරු ඒවායින් ඉවත් නොවී අනතුර හිස මත කඩා වැටෙන තුරුම බලා සිටිති. ස්වකීය වාස භූමිය අත්හැර නොයමි යන ඒකායන සිතිවිල්ල අවසානයේ ඉතිරි කරනුයේ 'නපුර' පමණි. අනෙක් අතට කිසිදු පාරිසරික අධ්‍යයනයකින් තොරව කරනු ලබන ඉදිකිරීම් මහා ව්‍යසන රටට අත්කර දී තිබේ.

ඉතිහාසයේ කිසි විටෙක නාය නොගිය, පස් කඳු කඩා නොවැටුණු මහියංගණ දහ අට වංගුව දැන් දැන් 'පොද වැස්සටත්' ව්‍යසනයට පත් වන කලාපයක් බවට පත්ව තිබේ. ඊට හේතුව හිතු මනාපෙට කළ ඉදිකිරීම්ය. ලංකාවට බලපාන වාසුළි සෘතුව ලෙස සැලකෙන්නේ නොවැම්බර්, දෙසැම්බර් කාලය වුවද ලංකාවේ ස්වාභාවික ව්‍යසන ආකෘතිය දෙස බැලූ විට ඔක්තෝබර් යනු මෙරට ඉතිහාසයේ දරුණුතම සුළි සුළඟ ඇති වූ මාසයයි.

1978 ඔක්තෝබර්වල බෙංගාල බොක්කෙන් පටන්ගෙන, මඩකළපුව දක්වා කඩා වැදුණු සුළි සුළඟ නිසා ජීවිත 915ක් විනාශ විණි. ඒ නිසා ආපදාව හෝ ව්‍යසනය කඩා වදින වේලාව ටක්කෙටම කියන්නට තාමත් සමත් නැත. වඩා වැදගත් වන්නේ 'රතු නිවේදන' ගැන විමසිල්ලෙන් සිටීමය.

මාතෘකා