හදිසි ආපදාවන්ට මුහුණ දීම

හදිසි ආපදාවන්ට මුහුණ දීම

 

දිවයිනේ ඇතැම් පළාත්වල දැඩි නියං සමයක් පවතින අතරතුර ප්‍රදේශ කිහිපයක අධික වැසිපතනයක් සිදු වේ. වැසිපතනය හදිසියේ ඇති වූ කාලගුණ විපර්යාසයක ප්‍රතිඵලයකි. එහෙත් නියඟය වසර කිහිපයක් දිග්ගැසී පවතී. මෙය හදිසි ආපදාවකටත් වඩා දිගුකාලීනව ගොඩනැගුණු දේශගුණික විපර්යාසයක ප්‍රතිඵලයකි.

දැනට දිස්ත්‍රික්ක කිහිපයකට වැසි සහ සුළං නිසා සිදු විය හැකි ආපදා පිළිබඳව රජය අනතුරු අඟවා ඇත. එමෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අවශ්‍ය සහන සැපයීම සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී ඇත. නායයෑම්, පස් කඳු කඩාවැටීම් සහ ගල් පෙරළීම් සිදු විය හැකි ස්ථාන නම් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.

මෙහිදී ස්වදේශ කටයුතු අමාත්‍යංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව පීඩාවට පත්වූ ජනතාවට අවශ්‍ය පිසූ ආහාර, වියළි ආහාර, පානීය ජලය සහ ඖෂධ ලබාදීමේ කටයුතු සිදු කරයි. එමෙන්ම විවිධ සංවිධාන සහ මාධ්‍ය ආයතනද විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීමට ඉදිරිපත්ව සිටිති. එය යහපත් ලක්ෂණයකි.

රටෙහි පළාත් කිහිපයක දිගු නියඟයක් පවතිද්දී තවත් පළාත් කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇති වීම ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් නිරන්තර අවධානය යොමු විය යුතු බවට දෙන සංඥාවකි. දෙවැන්න රටේ දේශගුණ සිතියම කාලයක් තිස්සේ වෙනස් වෙමින් පවතින හෙයින් ඒ පිළිබඳව සවිඥානිකව පසුවීම ඔස්සේ පෙර සූදානමක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවයි.

දේශගුණ විද්‍යාඥයන් දැනට අවධාරණය කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ දේශගුණ සිතියම වෙනස් වෙමින් පවතින හෙයින් අනාගතයෙහිදී ඇතැම් පළාත් කාන්තාර හෝ ශුෂ්ක බිම් බවට පත් විය හැකිය. ඇතැම් ප්‍රදේශවල වැසිපතනය මෙන්ම සීතලද අධික විය හැකිය. මේ සඳහා ගෝලීය දේශගුණ තත්ත්වයන් මෙන්ම දේශීය තත්ත්වයන්ද බලපායි. ලොව කාබන් විමෝචනය කරන කාර්මික රටවල් සමඟ සසඳන විට ලංකාව ඊට දෙන දායකත්වය අල්පය. එහෙත් එල් නිනෝ ලා නිනෝ තත්ත්වයන් ලංකාවටද බලපායි.

දේශීය වශයෙන් සලකා බැලූ විට තැනිතලාවෙහි විශාල බිම් ප්‍රමාණයක ජලතලය රැඳීමට බලපාන වැව් පද්ධතිය කෙමෙන් අභාවයට යෑම හානිකර ප්‍රතිඵල ඇති කරයි. එමෙන්ම අවිචාරවත් මිනිස් ක්‍රියාකාරකම් නිසා පොළොවෙහි මතුපිට වැස්ම හෙවත් හියුමස් තට්ටුව විනාශ වී තිබේ. හිරුඑළියට කෙළින්ම පස නිරාවරණය වේ.

දිගු කලක් කෘෂි රසායන අධිභාවිතය නිසා පොළොවෙහි ජීව ගුණය විනාශ වේ. ආවේණික රුක්ගොමු වෙනුවට ෆයිනස් වැනි ශාක කඳුකරයේ ව්‍යාප්ත වීමෙන් පාංශු ඛාදනය, පස් කඩාවැටීම්, නායයෑම් සිදු වේ. බොහෝ ගොවිබිම්වල මිශ්‍ර වගාව වෙනුවට ඒකල වගාව ව්‍යාප්ත වීමෙන් පස නිසරු වී වියැළේ. මේ සියලු තත්ත්වයන්හි ප්‍රතිඵලය මහපොළොවේ ජීවගුණය හා තෙතමනය අවසන් වී එය උණුසුම් වීමය. මේ නිසා නියඟයක් පැමිණි විට ගහකොළ ඉක්මනින් මැරී ආහාර හිඟයක් ඇති වෙයි. වැව් පද්ධතිය හොඳින් තිබුණේ නම් කුළු වැව් නිසා වැව් වියළීම වැලකේ.

මේ සියලු කරුණු අනුව පෙනී යනුයේ හදිසි ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය දිගු කාලීන සැලසුම් කෙරෙහි මීට වඩා අවධානය යොමු කළ යුතු බවය. ඒ සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති සකස් විය යුතුය. අධ්‍යාපන ක්‍රමය හැඩගැස්විය යුතුය. රටවැසියා දැනුවත් කළ යුතුය. එසේම ඒ පිළිබඳව ගැඹුරු කතිකාවක්ද අවශ්‍ය වේ.

මාතෘකා