තිබෙන්නේ ඒ පාර පමණක් නොවේ

තිබෙන්නේ ඒ පාර පමණක් නොවේ

ලියූ දරුවන්ටත් වඩා නොලියූ දෙමාපියන් 'තරඟ කළ' පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වී දෙදවසකි. මේ ගෙවෙන්නේ පශ්චාත් ප්‍රතිඵල සමයයි. ප්‍රතිඵල නිකුත් වීමට නියමිත රාත්‍රියේ සමහරක් රූපවාහිනී නාළිකා ඒ වග දැනුම් දුන්නේ 'අද මැදියම් රැය බෙහෙවින්ම උණුසුම්' වන්නට නියමිත බව පවසමිනි. ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වීමට නියමිත නිසා එකී උණුසුම හටගන්නා බව කුතුහලය අතරින් ප්‍රවෘත්ති නිවේදකයා කීවේය.

ඒ වනාහී ගෙදර සිටින ශිෂ්‍යත්වය ලියූ දරුවාගේ මස්තිෂ්කය හිරිවට්ටන ආකාරයේ වාර්තා කිරීමකි. පීඩනය දරාගත නොහැකි දෙමාපියෙක් වෙත් නම් රුධිර පීඩනය එකසිය ගාණට නංවන්නට එකී පුවත සමත් ය.

වාරතාකරණ ඒ තරම්ම බිහිසුණුය..!

තිස් වසරක් යුද වැදී මළ මිනී ගණිමින් සිටි රටකට එය එතරම් ලොකු දෙයක් නොවෙතත් 'නොදරුවන්ගේ' හදවත්වලට එයින් වන කම්පනය සුළුපටු නොවේ.

හරිහමන් කෑමක් බීමක් නැතිව විභාගයක් ලියා, සියල්ල නිදහස් යැයි මොහොතකට හෝ අස්වැසිල්ලක් ගත් දරුවෝ අර ප්‍රවෘත්තිය කියවන විට සිටියේ බත් කටක් අනුභව කරමින් නම්, ඒ දරුවාට ඉස්මොල්ලේ ගියාට සැක නැත.

විභාගයක් මේ තරමටම කුළුගන්වා තබනුයේ කුමක් නිසාද කියා දන්නේ නැත. එහෙත් එයින් සිදුවන ගිණිය නොහැකි විනාශය ගැන කිසිවෙක්, කිසිදු තැකීමක් කරන්නේද නැත.

අවාසනාව ඒකය.

අවුරුදු 5ත්-15ත් වයසේ පාසල් දරුවන් සම්බන්ධව සිදුකොට ඇති සමීක්ෂණයකින් හෙළිදරව් වන කරුණු අදහාගත නොහැකි තරම් අවාසනාවන්තය. එම වයසේ, 15‍% කට අධික ප්‍රමාණයක් ස්ථූලතාවෙන් හා අධික බරින් යුතු දරුවෝය.

වෛද්‍යවරුන් සොයාගෙන ඇත්තේ අවුරුදු 10ත්-15ත් අතර පිරිමි දරුවන්ගේ ව්‍යායාම් කිරීමේ ප්‍රතිශතය 16%ක් වන අතර ගැහැනු දරුවන්ගේ ක්‍රියාශීලිත්වය පෙන්වා ඇත්තේ 30%ත් 34%ත් අතර ප්‍රමාණයකි.

තත්ත්වය එපරිදිය..!

දෙමාපියන් ස්වකීය සකල ජීවිතයම කැප කරනුයේ දරුවාගේ හිතසුව පිණිසය. එහෙත් ඔවුන්ටත් හොරා දරුවා වේගයෙන් රැගෙන යන අගාධය අතිශයින්ම අවාසනාවන්තය. විභාග සහ තරඟ තුළින් දරුවා තරණය කරවීම කළ යුතුය. එහෙත්, එය ඒකායන ජීවන මාර්ගය සේ සලකා දරුවා ඊට තල්ලු කරන්නේ නම් එය වනාහී අපරාධයකි.

විභාග යනු විභාග මිස, ජීවිතය නොවේ.

ඇමරිකාව මගින් ලෝකයට දායාද කළ ශ්‍රේෂ්ඨතම ජනාධිපතිවරයා ලෙස අදටත් අවිවාදිතව හැඳින්වෙන්නේ එරට 16 වැනි ජනාධිපති ධුරයට පත් ඒබ්‍රහම් ලින්කන්ය. ඔහු සිය පුතු පාසැල් යවන දා පුතුගේ ගුරුවරයාට අපූරු ලිපියක් ලියා යවයි. එහි තැනෙක මෙවැන්නක් වෙයි.

"තමා උගත් දැනුම් සහ මොළයෙන් සොයා ගත් දේ අලෙවි කළ ද, තම හදවත හා ආත්මය උකස්‌ නොකිරීමට උගන්වන්න. තමාට මිලක්‌ නියම කර නොගැනීමට උගන්වන්න, මෝඩ සහ අසත්‍ය ප්‍රකාශ හමුවේ දෙකන් නො ඇසෙන ලෙස සිටීමට උගන්වන්න, තම මතය නිවැරැදි නම් නිර්භීතව හොඳින් ඒ ගැන කථා කිරීමට හා නැඟී සිටීමට උගන්වන්න. පරාජය දරා ගැනීමට උගන්වන්න. ජයග්‍රහණය විඳ ගැනීමට උගන්වන්න. හොඳින් මෘදු ලෙස ඔහුට සලකන්න."

එහෙම ලියන්නේ ලින්කන්ය.

ශිෂ්‍යත්වය ලියූ හැම කෙනෙක්ම ජීවිතය දිනා නැත. ජීවිතය දිනූ බොහෝ දෙනෙක් ශිෂ්‍යත්වය දිනා නැත. ඒ වග සිහි තබා ගැනීම වටී. මේ විසි එක්වන සියවස 'පාරවල්' බොහෝ වැටී තිබෙන යුගයකි.

මාතෘකා