ආර්ථික ඔස්තාර්

ආර්ථික ඔස්තාර්

2006-2014 යනු වසර 30කින්වත් නිවැරදි කළ නොහැකි ආර්ථික අගාධයකට රට දක්කාගෙන ගිය වසර 9ක් ලෙස ඉතිහාසගතය. ලෝකයේ තීරණාත්මක රටවල් කිහිපයක්ම ග්‍රහණයෙන් සියතට ගත් චීන ආර්ථික සර්පයා අන් කවරදාටත් වඩා අඬුපඬු දිගහැරිය වකවානුවකි. අවිධිමත් ආර්ථික ක්‍රමෝපායන් තුළින් ඒකාන්තව රට වළ පල්ලට යන බව ඔවුහු දැන සිටියහ. එහෙත් රට වෙනුවට බලය පමණක් ස්වකීය ඒකායන පරමාර්ථය කරගත් 'කණ්ඩායමකින්' බලාපොරොත්තු විය හැකි අන් යමක් නැත.

2004 වර්ෂයේ පත් කල තිස්ස දේවේන්ද්‍ර වැටුප් කොමිසමෙන් යෝජනා කරන ලද්දේ එවකට රාජ්‍ය සේවයේ වැටුප් ලබන සේවක සංඛ්‍යාව වූ ලක්ෂ 07ක ප්‍රමාණයෙන් 33%ක් අඩු කළ යුතු බවයි. ඒ ඒ තරමටම භාණ්ඩාගාරය හිස්ව තිබූ නිසාය.

2004දී ලක්ෂ 07ක් වූ රාජ්‍ය සේවක පිරිස පසුගිය ආණ්ඩුව 2014 වන විට ලක්ෂ 14 දක්වා වැඩි කළේය. ඒ සමඟම රාජ්‍ය සේවක වැටුප් බිල රාජ්‍ය ආදායමෙන් 35% දක්වා වැඩි කළේය. වැඩි කරන ලද රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට සිදුවූයේ රුපියල් 10, 000ට වඩා අඩු වැටුප් ලබන අයගෙන් ලබා ගන්නා බදු මුදලිනි.

රාජ්‍ය ණය ප්‍රමාණය ගත් කළ 2014 දළ දේශීය නිෂ්පාදිතය 76% දක්වා වැඩි වී තිබූ අතර එය රාජ්‍ය ආදායමට සාපේක්ෂව බැලූ විට හය ගුණයක ප්‍රමාණයකි. ණය ගෙවීම සඳහා පමණක් රාජ්‍ය ආදායමෙන් 33%කට වඩා ගෙවීමට සිදුවිය.

2014 වන විට විදුලි බල මණ්ඩලයේ මෙහෙයුම් පාඩුව රුපියල් බිලියන 11.7ක් වූ අතර එයාර් ලංකා සමාගමේ මෙහෙයුම් පාඩුව රුපියල් බිලියන 29ක් විය.

මේවායේ ඉහළ පුටුවල සිටියේ රාජපක්ෂවරුන් හෝ ඔවුන්ගේ ඥාතීන්ය.

2010දී මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්ගේ ප්‍රධානත්වයෙන් බදු කොමිසමක් පත් කළ අතර වැටෙන රටට මුක්කුවක් සොයා ගැනීම එහි අරමුණ විය. මේ දිනවල ආර්ථික ඔස්තාර්ලා ලෙස විචාර ඉදිරිපත් කරන බන්දුල ගුණවර්ධන හිටියේ නෑසූ කන්වය. බලයේ සිටි වසර 09 කාලය තුළ රාජපක්ෂලා විසින් තම දේශපාලන බලය පවත්වා ගැනීමට රාජ්‍ය මූල්‍යය නන්නත්තාරකොට දැමූහ.

බන්දුල ගුණවර්ධන මහතා එවක ප්‍රකටව සිටියේ 'ජනප්‍රිය විහිළු' සපයන කවටයකු ලෙසටය. ඔහු එවක ඉදිරිපත් කළ විහිළු කතා අදටත් ජනප්‍රියය. වයිමගේ පුතාටවත් කරන්න බැරි වැඩ ගැන කී හෙතෙම, වරක් රුපියල් 2500කින් පවුලකට මාසයක් ජීවත් විය හැකියැයි 'අන්දරේ' වර්ගයේ විහිළුවක් කළේය. ගණන් ගිය එළවළු වෙනුවට ඒ කාලෙට ලාභ එළවළු ගන්න කීවේත් ඔහුය.

මෙහෙම විහිළු සැපයූ බන්දුල ගුණවර්ධනයෝ මේ ආණ්ඩුවට ආර්ථිකය හදන හැටි ගැන කියාදෙන්නට පැමිණීම අරුම පුදුම විහිළුවකි.

එදා මහින්ද ආණ්ඩුවේ ආර්ථික විනාශය ඉදිරියේ බන්දුල වචනයකින් කිසිම විවේචනයක් කළේ නැත. එහෙත්, විමල් වීරවංශ ඒ විපත ගැන කීවේය. ඒ අතින් බන්දුලට වඩා විමල් ඉදිරියෙන්ය.

'අද වන විට විදේශ ණය ප්‍රමාණය බිලියන 5000කට වැඩියි. මෙහෙම ගියොත් අපිට එක්තරා අවස්ථාවක් එනවා මේ ණයට අදාළ වාරික ගෙවාගත නොහැකි. එහෙම වෙලාවක් එන්න තියෙන ඉඩකඩ වැඩියි. දිගු කාලීන ආර්ථික ජයග්‍රහණ බලාගෙන නම් ඉදිරියට යන්නේ අපි සියල්ලටම පෙර මේ ණය උගුලෙන් එළියට එන්නෙ කොහොමද කියලා කල්පනා කළ යුතුයි..."

විමල් වීරවංශ 29-11-2011

වසර නවයක් ආණ්ඩු කළ රාජපක්ෂ ආන්ඩුවේ බන්දුල ගුණවර්ධන මහතාට ආර්ථික පැත්තක් භාර වූයේ නැත. එහෙත් ඔහු ඒ නොලැබුණත් 'අනුන්ගේ පව්' සෝදන එක කළේය.

සිහිනෙකින් හෝ වෙන ආණ්ඩුවක් යටතේත් බන්දුලයන්ට එහෙම අමාත්‍ය ධුරයක් ලැබෙන්නේ නම් නැති බවට මෙන්න කැට...!

මාතෘකා