වැසෙන පාසල්

වැසෙන පාසල්

කලාතුරකින් දවසක ගමට යන විට දකින පොල් අතු පාසලෙහි තම ජීවිතයෙහි සතුට සැඟවී ඇතැයි ලියා තැබුවේ දේශයේ මහා කිවිවර මහගම සේකර ය. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාසල් පිළිබඳ අධ්‍යයනයක යෙදුණු අධ්‍යාපනඥවරියක මේරි රොබින්සන් අවම සමිපත් මධ්‍යයේ පිරිපුන් පාසල් පරිසරයක් නිර්මාණය කළ ප්‍රීතිමත් ගුරුවරුන් ගැන ප්‍රසාදයෙන් සඳහන් කරයි. ඒ එදාය. මෙදා තත්ත්වය ශෝක ජනකය. එය හදිසියේ ඇතිවූ තත්ත්වයක්ද නොවේ.

ග්‍රාමීය පාසල් විශාල ගණනක් ශිෂ්‍ය සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීමෙන් වැසී යෑමේ තර්ජනයට මුහුණ දී සිටී. ඊට බලපා ඇති ප්‍රධාන හේතුවක් වන්නේ ජනප්‍රිය පාසල් උන්මාදය නිසා දෙමව්පියන් මොන විදියකින් හෝ තම දරුවා නගරයේ ජනප්‍රිය පාසලකට යැවීමට උත්සාහ කිරීමය.

මෙය මුදල් හෝ දේශපාලන බලයද සමඟ ගැට ගැසුණු අතිශය පිළිකුල් සහගත ක්‍රීඩාවකි. මෙය ඉතා නරක අයුරින් බලපා ඇත්තේ දුප්පත් පවුල්වල දරුවන්ටය. මේ අනුව කරකියාගත හැකි දෙයක් නොමැති දරුවෝ ගමේ කුඩා පාසල්වල තනිවෙති. පාසල වැසීගිය විට ඔවුන්ගේ පාසල් ගමන බොහෝ විට කෙළවර වෙයි.මේ වරදින් වැඩි කොටසක් පැවරෙන්නේ දෙමව්පියන්ටය.

ගුරුවරුන්ගේ පාර්ශ්වයෙන්ද වගකීමක් පවතී. මේ පිළිබඳ අගනා පූර්වාදර්ශයක් ඔක්. දෙවැනිදා ලැබිණ. 'රැස' සමාරම්භක කර්තෘ, දිවංගත චාමර ලක්ෂාන් කුමාර මහතාගේ 40 වැනි ජන්ම දිනය සහ ලෝක ළමා දිනය නිමිත්තෙන් බප/මිනු/මාදෙල්ගමුව විදුහලේදී නිර්මාණ වැඩමුළුවක් පවත්වන ලදි. මේ විදුහල වැසී යෑමේ තර්ජනයට ලක්ව තිබූ එකකි. මුල් අවධියෙහි 1500 ක පමණ සිසුන් සංඛ්‍යාවක් ඉගෙන ගත් මේ පාසල මීට වසර කීපයකට පෙර වැසී යෑමට ඔන්න මෙන්න තිබියදී විදුහල්පතිනිගේත් ගුරුමණ්ඩලයේත් කැපවීම නිසා සිසු සිසුවියන් 33 දෙනකුට සෙවණ සැලසෙන විදුහලක් බවට පත්විය.

මීට වසර දෙකකට පෙර දිවයිනේ ශිෂ්‍යත්ව ප්‍රතිපල සාධන මට්ටමින් ප්‍රථම ස්ථානය ලැබූ ඒරියාව කණිටු විදුහල වැසී යෑමට ඔන්න මෙන්නව තිබියදී අලුතින් පැමිණි විදුහල්පතිවරයා නිසා පසුව එම අවදානමෙන් මිදුණි. ගුරුමණ්ඩලයේ කැපවීම නිසා අධ්‍යාපන මට්ටම ඉහළ යෑමෙන් වත්මනෙහි විශාල ඉල්ලුමක් ද පවතී.

මෙබඳු විදුහල් රැසක්ම අප්‍රකටව පවතී. මේ කුමක් වුවත් පාසල් වැසී යෑමේ ප්‍රවණතාව වෙනස් වී ඇතැයි කිව නොහේ. වත්මන් අධ්‍යාපන ඇමතිවරයාගේ මඟ පෙන්වීම යටතේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ක්‍රියාත්මක වෙයි. තෝරාගත් විදුහල්වලට සුපිරි පාසල්වල ඇති මට්ටමෙන් පහසුකම් ලබාදීම ඔස්සේ ජනප්‍රිය පාසල් පොරය අවම කිරීම එහි අපේක්ෂාවයි. එය සාධනීය පියවරකි.ඒ සමඟ ම ගම්බද කුඩා පාසල් සම්බන්ධයෙන්ද වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. එම දරුවන් යාබද වෙනත් විදුහලකට අනුයුක්ත කිරීමට යෑමෙන් ගැටලු දෙකක් පැන නගී.

පළමු වැන්න ඇතැම් ළමුන්ට ආර්ථික දුෂ්කරතා නිසා ඒ අවස්ථාව අහිමි විය හැකිය. දෙවැන්න හිස් වන පාසලෙහි දේපළ විනාශයකි. එය අපතේ ගිය ආයෝජනයක් වෙයි.

මේ වන විටද රට පුරා එවැනි භෞතික සම්පත් විශාල ප්‍රමාණයක් විනාශ වෙමින් පවතී. එයට පිළියමක් වන්නේ රජයේ වෙනත් කටයුතු සඳහා කාර්යාල පරිශ්‍ර හෝ පුහුණු ආයතන වශයෙන් ඒ ගොඩනැඟිලි සහ භූමිය භාවිතයට ගැනීමය. කෙසේ වුවද වැසෙන පාසල් පිළිබඳ ඛේදාන්තය අමතක නොකර අධ්‍යාපනයේ අනාගතය සැලසුම් කිරීම සාධාරණය.

මාතෘකා