තීරු බදු සහනවලට සීමා පැනවීමේ තීන්දුව

තීරු බදු සහනවලට සීමා පැනවීමේ තීන්දුව

මැති ඇමතිවරුන් හා රජයේ ඉහළ නිලධාරීන් හට වාහන ආනයනය සම්බන්ධයෙන් මෙතෙක් ලබා දී තිබූ සහනවලට සීමා පනවා තිබේ. රජය මේ තීන්දුව ගෙන ඇත්තේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩු වීමේ ප්‍රවණතාව පාලනය කිරීමේ මඟක් හැටියටය.

මෙය විවේචනයට ලක් කරන විපක්ෂයේ ඇතැම් මහජන නියෝජිතයන් පවසන්නේ දේශපාලකයන් මේ වන විට තමන්ට අවශ්‍ය වාහන ගෙන්වා ඇති බැවින් මේ තීන්දුවෙන් පලක් නොමැති බවය. මේ චෝදනාවෙහි යම් ඇත්තක් තිබිය හැකිය. එහෙත් සම්පුර්ණ ඇත්ත එය නොවේ.

රුපියල් කෝටියකට වැඩි වටිනාකමැති වාහන දහයකට වැඩි සංඛ්‍යාවක් දිනකට ලියාපදිංචි කෙරෙන බව අනාවරණය වේ. මේ සියලු වාහන ව්‍යාපාරිකයන්ට අයත් නොවන බව අපි දනිමු. එමෙන්ම රජයට චෝදනා කරන මන්ත්‍රීවරුන්ද තමන් ඉදිරිපත් කරන චෝදනාවට වගඋත්තරකරුවන් වන බව සැඟවිය නොහැකි සත්‍යයකි.

වාහන ගෙන්වීම සඳහා තීරු බදු සහනය ලබන කණ්ඩායම්වල ලැයිස්තුව දිගු එකකි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් ආණඩුකාරවරු, පළාත් පාලන ආයතන සභාපතිවරු, උප සභාපතිවරු, නගරාධිපතිවරු, ප්‍රාදේශීය සභාපතිවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවරු, සරසවි ආචාර්යවරු, රජයේ ඉහළ නිලධාරීහූ වාහන ආනයනය කිරීමේ තීරුබදු සහන බලපත්‍රවලට හිමිකම් කියති. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හට වසර පහකට වරක් මෙම සහනය හිමි වීම විශේෂත්වයකි.

මෙම තීරු බදු සහනය ක්‍රියාත්මක වන්නේ කිසිදු නීතිමය ආවරණයකින් තොරවය. එනිසා අධික ලාබයක් තබාගෙන බලපත්‍රය විකිණීමේ හැකියාව ප්‍රතිලාභියා හට ලැබේ. සාමාන්‍යයෙන් තීරුබදු සහනය අනුව වැය කෙරෙන මිල මෙන් පස්ගුණයක වටිනාකමකට එය විකිණිය හැකිය. ඒ අනුව වාහන වටිනාකම රුපියල් ලක්ෂ පනහක් වන විට ලැබිය හැකි ලාබය ලක්ෂ දෙසීයකි.

රට, ජාතිය, ආගම සහ සංස්කෘතිය යනාදී දහසකුත් එකක් උරුම රැක ගැනීම සඳහා මරහඬ දීමේ වාසියෙන් පාලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත්වූ යතිවරුන්ද පසුගිය අවධියෙහි බලපත්‍ර ජාවාරමෙහි යෙදීමේ අප්‍රසන්න නරනාටකය දැකගැනීමට තරම් මෙරට ජනයා අවාසනාවන්ත විය.

මෙරට වරප්‍රසාදලාභීන් පිරිසක් තමන්ට රජයෙන් ලබා දෙන සහනය ජාවාරමක් කරගැනීම ලොව කිසිදු ශිෂ්ට සම්පන්න රටක දක්නට නොලැබෙන අශීලාචාර සම්ප්‍රදායකි. මෙය වැළැක‍්වීමේ නීති සම්පාදනය කිරීමට මහජන නියෝජිතයෝ ඉදිරිපත් නොවෙති. නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව මෙහිදී මුනිවත රකින්නේ වරදාන අහිමි කරගැනීමට ඇති අකමැත්ත නිසාය.

මෙරට සමාජයෙහි පන්ති පදනම අනුව බැලූ විට අඩු ආදායම්ලාභීන් සහ ඉහළ ආදායම්ලාභීන් අතර පරතරය එන්න එන්නම වැඩිවේ. කොළඹ ඉදිකෙරෙන අහස සූරන මැදුරුවල නිවාස අසුරු සැනින් විකිණී අවසන් වන මට්ටමට මෙරට ඉහළ ධනපති පන්තිය ප්‍රසාරණය වෙයි. ඒ අතරතුර නියඟය නිසා පිට පිට කන්න පහක් පාළු වීමෙන් කුසට අහරක් නැතිවූ දුප්පතෙකුට මුරුංගා කොළ තම්බා කා කුස පොත්ත රවටා ගැනීමට සිදු ව ඇත.

අහස සූරන මැදුරුවල දිව්‍ය සැපත විඳින්නන් අතර ප්‍රභූ දේශපාලකයෝද සිටිති. ඔවුන්ට ලැබෙන තීරු බදු සහනය මුදල් අදින එක කොක්කක් පමණය. විෂම පන්ති රටාවේ ගනඳුරට මැදිවූ දුප්පතා රුපියලේ අගය බාල්දු වීමේ වේරම්බවාතයෙන් ද ගසාගෙන යයි. එහෙයින් තීරු බදු සහන සම්බන්ධයෙන් යම් සීමාවක් පැනවීම නරක වැඩක් නොවේ.

මාතෘකා