ළමා වියේ සහ සැඳෑ වියේ අහිමි වන රැකවරණය

ළමා වියේ සහ සැඳෑ වියේ අහිමි වන රැකවරණය

ඔක්තෝබර් පළමු වැනිදා ලෝ වැසියන්ගේ අවධානයට ලක් වෙන හේතුවක් තිබේ. එනම් ජාත්‍යන්තර ළමා දිනය හා වැඩිහිටි දිනය හැටියට එය නම් කර තිබීමය. එනිසා දරුවන් හා වැඩිහිටියන් ඉලක්ක කරගත් ආකර්ෂණීය වැඩසටහන් ලොව පුරා මහත් උත්කර්ෂයෙන් පැවැත්වෙයි. එහෙත් අසිරිමත් සැමරුම් පිටුපස ඇති ඛේදවාචකය සාකච්ඡාවට ලක්වනවා අඩුය.

වසරකට ලොව පුරා දරුවන් මිලියන ගණනක් විවිධ හේතු මත මෙලොව හැර යන බව මාධ්‍ය වාර්තා කරයි. වැඩිහිටියන්ගේ ඉරණමද එබඳුය. ලොව ඇතැම් රටවල වැඩිහිටි ජනගහන ප්‍රතිශතය ඉහළ යෑම අනුව ගැටලු රැසක් නිර්මාණය වී තිබේ. ශ්‍රී ලංකාවද ක්‍රමයෙන් මේ තත්වයට පත්වෙමින් සිටින බව පෙනේ. ආදායම් විෂමතාව ඉහළ රටක් හැටියට ආර්ථික අතින් පහළ මට්ටමේ සිටින පවුල්වල වැඩිහිටියන් මුහුණ දෙන්නේ ශෝචනීය තත්වයකටය. ඊට හේතුව තම දරුපවුල නඩත්තු කිරීමේ හැකියාවද නොමැති දුප්පත් පවුලකට දෙමාපියන් නඩත්තු කිරීම දුෂ්කර වීමය.

චිරන්තන සම්ප්‍රදාය අනුව දෙමාපියන් මහලු වූ විට වෙනත් තැනකට යැවීම පහත් පුරුද්දක් ලෙස සැලකේ. එය මදි පුංචිකමකි. එනිසා දුක සේ උවටැන්කර ඔවුන් රැක බලා ගැනීම සිරිතකි. එහෙත් යැපුම් කෘෂිකාර්මික ජීවිතයෙන් සමුගත් පසුව ඇතිවූ නූතන ජීවිතයෙහි සංකීර්ණතා අනුව පෙර පරිදි වැඩිහිටියන් රැක බලා ගැනීමේ කාර්යය තරුණ දරුපවුල් අතින් මඟ හැරෙමින් පවතී.

මේ ගැටලුව ආර්ථික පීඩනයෙන් ඔබ්බට ගොස් උගත් මධ්‍යම පන්තියේ සංකීර්ණ අර්බුදයක් දක්වා දිගුවෙයි. රටෙහි පවතින තතු අමිහිරි හෙයින් උගත් මධ්‍යම පාන්තිකයෝද ඉහළ පාන්තිකයෝද තම දරුවන් අධ්‍යාපනය සඳහා එතෙර යවති .එහිදී අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව අමිහිරි උරුමය සොයා මව් රටට ඒමෙන් වලකින ඔවුහු එතෙර රැකියාවන්හි නිරතව ආවාහ විවාහද සිදු කර ගනිති. තම දරුවන් මව් රටට එවීමට ඔවුන් සුදානම් නැත.

දරුවන් එතෙර යවා මහලු වියට පත්වූ දෙමව්පියන් මෙහිදී මුහුණ දෙන්නේ බිහිසුණු ඉරණමකටය. බොහෝ විට ඔවුන්ගේ අවසන් කාලය ගත වන්නේ වැඩිහිටි නිවාසවලය. ඒ වියදම් පියවා ගන්නේ විශ්‍රාම වැටුපෙනි. නොඑසේ නම් එතෙර සිට දරුවන් බැංකුගත කරන සොච්චමෙනි. කීර්තිමත් සරසවි ඇදුරන්ද මේ බිහිසුණු ඉරණමට මුහුණ දෙන ආකාරය පසුගියදා අනාවරණය විය.

ලංකාවේ වතුකරයේ තත්වය මේ අතින් අතිශයින්ම ඛේදජනකය. රැස පුවත්පතේ නිදහස් ලේඛකයකු වන චමත්ක කවීන් බණ්ඩාර ලෝක ළමා දිනය නිමිත්තෙන් ලියූ ලිපියෙහි වතුකරයේ දරුවන්ගේ දු:ඛිත තත්වය මනාව අනාවරණය කර ඇත. දරුවන් මෙල්ල කිරීම සඳහා ගින්නෙන් පිළිස්සීම පවා තෝරාගන්නා මව්පියන්ගේ පරපීඩක චර්යා නිශ්චිත දේශයකට හෝ ජාතියකට සීමා නොවේ.

වැඩිහිටියකුගේ හදවත දරුවකුගේ හදවත මෙන් මුදු මොළොක්ය. බිළිඳු වියෙහිදී වැඩිහිටියන්ගෙන් ලැබෙන ආදරය සහ රැකවරණය සදිසි ආදරයක් හා රැකවරණයක් මහලු පුද්ගලයන්ටද අවශ්‍ය වේ.

යම් රටක යහපත් අයහපත් බව මිනිය හැක්කේ කාන්තාවන්ට හා දරුවන්ට දක්වන සැලකිල්ල අනුව යැයි කියමනක් පවතී. එය මෙසේ සංශෝධනය විය යුතුය. ඒ ගණයට වැඩිහිටියන්ද අයත් විය යුතුය. ජීවිතයේ සැඳෑ යාමය දු:ඛිත වීම හෘද සාක්ෂියක් අහිමි සමාජයක ලක්ෂණයකි.

මාතෘකා