බල තණ්හාව අධිකරණය ඉදිරියේ නිරුවත් වීම

බල තණ්හාව අධිකරණය ඉදිරියේ නිරුවත් වීම

දේශපාලන බලය උරගා බැලූ ලොව ප්‍රකට නායකයන් අතර අමරණීය සටහන් තැබූ අයද සිටිත්. ලැබුණු බලය උරචක්‍රමාලයක් කරගනු වෙනුවට මානව ශිෂ්ටාචාරය ඉදිරියට වර්ධනය කිරීම සඳහා තම ජීවිතයෙහි වටිනාම කාලය කැපකර බලය අතහැර ගිය නායකයෝ සදානුස්මරණීය වෙත්. එවන් ලොවක ජීවත්වන අපට අපට අසන්නට ලැබෙන පුවත් හාස්‍යජනකය.

ශ්‍රිලනිප සභාපතිකම යළි පත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභිකයන් දෙදෙනෙකු මගින් ඉදිරිපත් කළ පෙත්සම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

මේ නම් ලැජ්ජා නැතිකම පිළිබඳ ප්‍රශ්නයකි. නව නායකයා පක්ෂයේද නායකයා වීම සම්ප්‍රදාය බව පිළිගත් නායකයකු මෙසේ හැසිරීම නරක පූර්වාදර්ශයකි. ඉල්ලීම කව්රුන් ලවා කළද එය ඔහුගේ අභිලාෂය බව වසං කළ නොහැකි සත්‍යයකි.

"බලය මිනිසා දූෂණය කරයි. අසීමිත බලය අසීමිතව මිනිසා දූෂණය කරයි"

එසේ පැවසුවේ බර්ට්‍රන්ඩ් රසල් නමැති දාර්ශනිකයාය. අනාගත ලංකාව එකල ඔහුට සිහිනෙන්වත් පෙනුණා දැයි සැක සිතේ.

ජනාධිපතිවරණයෙන් පැරදීමෙන් පසුව එම සභාපති ධුරය නව ජනපතිවරයාට බාර දුන්නේද හිටපු නායකයා විසින්මය. බල තණ්හාව කොතෙක්ද යත් බාර දුන් තනතුර යළි ඕනෑ වී උසාවි ගානේ රස්තියාදු වන තැනට දැන් ඔහු පත්ව සිටී. එයට නිසි පිළිතුර ලැබිණි. උත්තර ලැබීමට නියමිත අනෙක් තණ්හාව, නැවත වරක් තමන්ටම ජනපති පුටුව ලැබීමය. ඒත් බැරි නම් පවුලේ කෙනෙකුට එය ලබාදී තමන් පුරුදු ලෙස රට පාලනය කිරීමය. ඔහු මේ සඳහා දැන් හොරගල් අහුලමින් සිටී.

බලයේ සිටියදී 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔහු තෙවැනි වරට තමාම පත් වීමේ මාවත තනාගත්තේය.

එහෙත් ජනවාරි 8 පෙරළියෙන් ඒ බලාපොරොත්තුව බිඳ වැටිණ. ජනතාවගේ අභිලාෂයට ගරු කරමින් 19 සංශෝධනයෙන් විධායක ජනාධිපති ධුරයේ තටුකැපීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම්‍යශීලී විය. ඡන්ද පරාජයෙන් ගෙදර නොයෑමටද වලි කෑ හිටපු ජනපතිවරයා ගෙදර යෑමෙන් පසුවද යටිකූට්ටු වැඩ පටන් ගත්තේය. ඒවා විසුළුජනක ජවනිකා හැටියට දැන් රඟ දැක් වෙයි.

ශ්‍රී ලංකාවේ විධායක බලය උරගා බැලූ නායකයන් අතරින් බිහිසුණුම අත්දැකීම් ලැබී ඇත්තේ රාජපක්ෂ පාලනයෙනි. එය සහෝදර සමාගමේ පාලනයක් විය. ඊට එරෙහි වූ කිසිවකුට යහතින් ඉන්නට නොහැකි විය.

ඇමරිකානු ව්‍යවස්ථාව සහ ප්‍රංශ ව්‍යවස්ථාව යන දෙකෙහි සංකලනයෙන් බිහි වූ ලංකාවේ ව්‍යවස්ථාව

ඒ දෙකටම එහා යමින් ඒකාධිපති පාලනයකට පාර කැපීය. "මුක්තිය"යනු එහි ප්‍රතිපලයයි.

දෙවරක්ම ජනපතිධුරයෙහි රහ බැලූ රාජපක්ෂ රෙජීමය එහි බිහිසුණුම අන්තය රටට පෙන්වා දුන්නේය. රෙජීමය ගෙදර යවමින් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව ඡන්දයෙන් පෙන්වා දුන්නේ මේ රටේ බහුතර ජනතාවයි.

බල තණ්හාව අත් නොහැර සිටින, රජයෙන් වැටුප් දෙකක් ලබන හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාලිමේන්තු මන්ත්‍රී මහන්ද රාජපක්ෂ මහතාගේ සිහිනුවණ පාදා ගැනීම පිණිස ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් වොෂිංටන්ගේ අගනා කියුමක් මෙහි උපුටා දක්වමු.

"මම තමයි මේ විධායක ජනාධිපති ක්‍රමයේ ප්‍රථමයා.

ඒ නිසාම ඉතාම පරිස්සමෙන් කටයුතු කිරීමට මට සිද්ධවෙලා තියනවා. මේ අලුත් ආණ්ඩුක්‍රමය ගැන අපට පූවාදර්ශයක් නෑ. මං තමයි පූර්වාදර්ශය වෙන්න තියෙන්නේ. මං කරන හැම දෙය දිහාම අද ඇමරිකාව බලා සිටිනවා. අනාගත ලෝකයත් මගේ චර්යාවෙන් පාඩම් ඉගෙන ගැනීමට නියමිතයි. තුන්වැනිවරටත් ජනාධිපති වීම නරක බවයි මං හිතන්නේ"

අැ‍ෙමරිකාවේ හැටි එහෙමය. ලංකාවේ හැටි මෙහෙමය. කූඹියාගෙ හැටියට කැවුත්ත. යකාගෙ හැටියට විමානෙ.

මාතෘකා