මාර්ග තදබදයට විසඳුම් කවදාද?

මාර්ග තදබදයට විසඳුම් කවදාද?

සමාජ සාකච්ඡාව තුළ කුමන දේශපාලනික හෝ සමාජිය ගැටුම් පැවතියද, පොදු මහජනතාවට මඟහැරිය නොහැකි මාතෘකා බොහොමයක් ඇත. එදිනෙදා රැකියා සහ වෙනත් අවශ්‍යතා සඳහා නගර කරා පැමිණෙන මහජනතාවට මාර්ග තදබදය තරම් වෙහෙසට පත්කරන වෙනත් මාතෘකාවක් ඇත්දැයි සිතෙන තරමට, සතියේ දින පහේම මාර්ග තදබදය උග්‍රය.

පසුගිය දශකය තුළ මෙරට මාර්ග පද්ධතියේ සැලකිය යුතු වෙනසක් වී තිබියදී පවා දිනෙන් දින මාර්ග තදබදය වැඩිවෙමින්ද ඒ ඔස්සේ මාර්ග අනතුරු ප්‍රමාණය ඉහළ යමින්ද ඇත.

පැවති නොයෙකුත් රජයන් වාහන ආනයනය සඳහා කිනම් ආකාරයේ බදු පැනවුවද, වාහන ආනයනයද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වූ බවක්ද නොපෙනේ. ගමනාගමන පහසුව තකා මෙන්ම තම පෞද්ගලික ආර්ථික හැකියාව පෙන්වන දර්ශකයක් ලෙසද 'රෝද හතරක්' මිලදී ගැනීම මධ්‍යම පාන්තික සිහිනය බවට පත්ව ඇති මානසිකත්වයක මේ තත්ත්වය අරුමයක්ද නොවේ.

විසඳුම, මාර්ග නවීකරණය පමණක්ද? කිසිසේත්ම නැත. මාර්ග පුළුල් කිරීම, නඩත්තුව සහ නවීකරණය නිරතුරු සිදුවිය යුත්තකි. ඊටත් වඩා ප්‍රමුඛතාව හිමිවිය යුත්තේ පොදු ප්‍රවාහනය දියුණු කිරීමය. දියුණු යැයි සම්මත බොහෝ රටවල, ප්‍රභූ පැලැන්තිය පොදු ප්‍රවාහනය එදිනෙදා ගමනාගමනයට යොදා ගන්නා බව නොරහසකි.

කොළඹ නගරයට පිටතින් පැමිණෙන වාහන සීමා කර, කොළඹින් පිට නැවතුම් මධ්‍යස්ථාන ගොඩනඟා, නගරය තුළ ගමනගමන පහසුව සඳහා සුවපහසු පොදු ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම ගැන සාකච්ඡාව කීප විටෙක සාකච්ඡාවට බඳුන් විය. නමුත් ඒ මාතෘකාද කාලයත් සමඟ කරළියෙන් දුරස්ව තිබේ.

මීට අමතරව දැන් දැන් බටහිර රටවල් වැඩි වැඩියෙන් යොමුවන තවත් විසඳුමක් ඇත. ඒ නගරබද ප්‍රමුඛ ප්‍රවාහන මාධ්‍ය ලෙස පාපැදි භාවිතයයි. කොළඹ, මහනුවර වැනි අධික මාර්ග තදබදයක් ඇති නගරවල ක්‍රියාත්මක කළ හැකි විසඳුමක් ලෙස මෙය සලකා බැලීමේ හැකියාවක් ඇත. මේ වන විට ලෝකයේ වඩා වැඩි

ඒකපුද්ගල ආදායමක් ඇති රටවල් කිහිපයක් ප්‍රධාන නගර 15ක මෙම විසඳුම ක්‍රියාත්මක කර මැනවින් ඵල ලබා ඇත. ඒ ඔස්සේ නගර අලංකරණය, නගර වැසියන්ගේ සෞඛ්‍යය සහ සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට එම නගර බලධාරීන්ට හැකිව තිබේ. එමෙන්ම, ඉන්ධන වියදම්, වායු දූෂණය සහ කාලය කා දැමීම් අවම කර ගැනීමටද ඔවුන් සමත්ව ඇත.

සාපේක්ෂව ශ්‍රී ලංකාවට වඩා කටුක සීතල කාලගුණයක් සහිත ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේ පාපැදි සඳහා භාවිත කරන මාර්ග පද්ධතියේ දිග කිලෝ මීටර් 390කි. රටේ සමස්ත ජනගහනයෙන් 35%ක් සේවය කරන්නේ කෝපන්හේගන් නගරයේ වන අතර එම පිරිසෙන් 50%ක් තම ප්‍රවාහන මාධ්‍ය ලෙස භාවිත කරන්නේ පාපැදියයි.

නගර බලධාරින්ට අනුව පාපැදි භාවිතය හේතුවෙන් එරට ආර්ථිකයට ඉතිරි වන මුදල වාර්ෂිකව යුරෝ මිලියන 215කි. පාපැදි භාවිතය වර්ධනයත් සමඟම කෝපන්හේගන්හි සේවය කරන පුද්ගලයන් ලබා ගන්නා ලෙඩ නිවාඩු ගණනද වාර්ෂිකව වැඩ දින මිලියන 1.1කින් අඩුව ඇත. මෙම විසඳුම හේතුවෙන් ආර්ථිකයට වසරක් තුළ ලැබුණු වාසිය, පසුගිය වසර 6 තුළ පාපැදි ව්‍යාපෘතියට යෙදවූ ආයෝජනයටත් වඩා වැඩි අගයක් ගෙන ඇත.

කොළඹ සහ කෝපන්හේගන් එකක් නොවන බව සැබෑය. නමුත් දැවැන්ත සහ නිර්මාණශීලී වෙනසක් කරන්නට 'හිත හදාගන්නා තාක්' අපට නගරබද මාර්ග තදබදයෙන් බේරුමක් නම් නැත.

මාතෘකා