නීතිය ඉදිරියේ කවුරුත් සමානය?

නීතිය ඉදිරියේ කවුරුත් සමානය?

හිටපු නාවික හමුදාපති රියාද් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 27 දින අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු දිගින් දිගටම අධිකරණයේ පෙනී සිටීම මඟහැරීම පිළිබඳව අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා නඟා තිබිණි. මේ අත්අඩංගුවට ගැනීම පිටුපස ඇත්තේ බිහිසුණු ඝාතන වැලකි.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් දෙමළ තරුණයන් එකොළොස් දෙනකු පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලයේ ගන්සයිඩ් කඳවුරෙහි රඳවා තබාගෙන පසුව ඝාතනය කර මුහුදෙහි ගිල්වා දමා ඇති බවට තොරතුරු අනාවරණය විය. තරුණයන් පැහැරගෙන ඇත්තේ කප්පම් ගැනීමේ අරමුණෙනි. මෙයට මුල්වූ නේවි සම්පත් නමැත්තාට රැකවරණ ලබා දීම හිටපු නාවික හමුදාපතිට ඇති චෝදනාවයි.

යුද සමයේ සහ පශ්චාත් යුද සමයේ ත්‍රස්තවාදය වැළැක්වීම අඩයාළමක් කරගනිමින් වෙන වෙන සෙල්ලන්වල යෙදුණු පුද්ගලයන් සිටි බවට මෙය හොඳ සාක්ෂියකි. මේ සියල්ල කරන ලද්දේ රණවිරු ලේබලයට මුවාවෙමිනි. මෙවැනි සිදුවීම් නිසා ආරක්ෂක හමුදා ප්‍රධානීන් සහ සෙබළුන්ට ඇති වූයේ නරක නාමයකි. අපරාධ කළ සුළු පිරිසට දඬුවම් දීම ආරක්ෂක අංශවල කීර්තිය ආරක්ෂා කර ගැනීමේ මඟ බව සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන අයගේ මතය විය. එහෙත් අපරාධ පිළිබඳ පරීක්ෂණ අඩාළ කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළහ.

මේ නිසා ඇතැම් අපරාධ පිළිබඳ පරීක්ෂණ යටගියේය.පැමිණිලිකරුවන්ට මෙන්ම පොලිස් නිලධාරීන්ටද තර්ජන එල්ල විය. මීට කලකට පෙර තලාකොළවැව සමූහ ඝාතන පිළිබඳ චෝදනා ලැබූ හිටපු හමුදා ප්‍රධානියකුවූ බ්‍රිගේඩියර් ජානක පෙරේරා නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයට කැඳවූ දිනයෙහි චූදිතයාගේ සහායට පැමිණි සෙබළුන් උසාවියට නුදුරු මාවතෙහි බුලත්විටි වෙළෙන්දන්ටද පහරදී පලවා හැර තිබුණි.රියාද් අමිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි මොහොතෙහි ඔහු සමඟ පැමිණි ඇතැම් මාධ්‍යවේදීන්ට පහර දුන් බව ප්‍රසිද්ධියට පත් විය. මෙය ඔවුන්ගේ වරදකට වඩා කුණුවූ දේශපාලන සංස්කෘතියෙහි වරදක් බව කිව යුතුය.

හිටපු නාවික හමුදා ප්‍රධානියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමේ පුවත වාර්තා කිරීමට ගිය පෞද්ගලික රූපවාහිනී නාළිකාවක මාධ්‍යවේදීන් පහරකෑමේ පුවත එම මාධ්‍ය ආයතනයට පුවතක් නොවීය. හමුදා නිල ඇඳුමට මුවා වී අපරාධ කළ නිලධාරීන් පිළිබඳ පරීක්ෂණ කෙරෙන විට දේශපාලන න්‍යාය පත්‍ර අනුව රණවිරු දඩයම පිළිබඳ ප්‍රවාදය සමාජගත කළ මාධ්‍ය ආයතනවලටම මෙසේ සිදුවීම දෛවයේ සරදමක් වැන්න. මේ නිහඬ වීමෙන් සිදුවන්නේ අපරාධකරුවන්ට අනුබල දෙන පසුගාමී බලවේග දිරිගැන්වීමය. මාධ්‍ය සංස්කෘතියේ පරිහානියද එයින් පෙනේ. මොනවා වුණත් මාධ්‍ය ආයතනද පාඩමක් ඉගෙනගන්නා පාටක් නැත.

ත්‍රිකුණාමලයේ සිසුන් පස්දෙනාගේ ඝාතන සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතූ එක් පියෙක් මරන තර්ජනවලට ලක් විය. තරුණයන් 11 දෙනා ඝාතනය කිරීමේ සිදුවීමේ පරීක්ෂණ කටයුතු ටික කලක් නියමානුකූලව සිදුවන විට විවිධ බලපෑම් ඇති විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන් නොබියව පරීක්ෂණ කටයුතු කරගෙන ගිය නිසා මෙපමණ දුරක් ඒමට හැකි විය.

නීතිය ඉදිරියේ දේශපාලකයා, හමුදා නිලධාරියා, පූජකවරයා, ගොවියා, කම්කරුවා, ජනමාධ්‍යවේදියා සහ නීතිවේදියා යනාදී සෑම අයෙක්ම සමානයෝ වෙත්. එයට ඇඟිලි ගැසීමේ අයිතියක් කිසිදු රටවැසියකු හට නොමැත.

මාතෘකා