ජරමර අස්සේ නොපෙනෙන ඩෙංගු තර්ජනය

ජරමර අස්සේ නොපෙනෙන ඩෙංගු තර්ජනය

රට තුළ දේශපාලන අර්බුදයක් පවතී. එය කුමන අයුරින් අවසන් වේදැයි අනාවැකි කීම නිෂ්ඵලය. එහෙත් ඒ පිළිබඳ ඇති උනන්දුව නිසා බොහෝ වැදගත් ප්‍රශ්න යට යෑම අනතුරුදායකය. එහි ප්‍රතිඵලය වන්නේ දරුණු සමාජ ව්‍යසනයකි. ඩෙංගු යනු එබඳු බිහිසුණු උවදුරකි.

පසුගිය ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා ඩෙංගු රෝගීන් 43803ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එමෙන්ම මෝසම් වැසි ආරම්භ වී ඇති නිසා ඉදිරියේදී ඩෙංගු පැතිරීම පුළුල් වන බව සෞඛ්‍ය බලධාරීන්ගේ මතයයි.

ඩෙංගු මර්දනය කිරීම සඳහා වෛද්‍ය සංගම් විසින් අට වැදෑරුම් ප්‍රතිපත්තියක් හඳුන්වා දී ඇත. මෙය ක්‍රියාත්මක කිරීම සඳහා සියලු රජයේ ආයතන, ජනමාධ්‍ය, පෞද්ගලික ආයතන හා සිවිල් ක්‍රියාකාරිකයන්ගේ සහාය අවශ්‍ය වේ. දේශපාලන අර්බුද තාවකාලිකයි. සෞඛ්‍ය ගැටලු සනාතනිකයි.

දේශපාලන අර්බුධ මුවාවෙන් රටේ අනෙකුත් ප්‍රශ්න යටකරන්නට ඉඩ නොදී සංවාදයට ගැනීම ජනමාධ්‍යයේ එක්ව කීමකි. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කෙරුණු මුදලින් විශාල ප්‍රමාණයක් පරිහරණය කර නැතැයි චෝදනාවක් පවතී. එසේ නම් එය බලවත් අපරාධයකි. එවැනි වැරදි සිදු නොවිය යුතුය.

ඩෙංගු මර්දනය කිරීම දුෂ්කර වී ඇත්තේ ප්‍රමාණවත් පරිදි භෞතික හා මානව සම්පත් නැතිකමින් බවටද පසුගිය කාලයේදී චෝදනා ඉදිරිපත් විය. බොහෝ දේ අසාර්ථක වූයේ සම්පත් හිඟකමෙනි. එසේ නම් සෞඛ්‍යයට වෙන්කෙරුණු මුදල් පරිහරණය නොවූයේ කුමක් නිසාද?

ඩෙංගු කාරසාධක බලකාය වෙනිදාට වඩා සක්‍රීය අයුරින් ක්‍රියාත්මක වනු පෙනේ. එහෙත් නිවාස හිමියන් සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන ප්‍රතිපත්තිය රජයේ ආයතන සම්බන්ධයෙන් අනුගමනය නොකරන්නේ කුමක් නිසාද?

ඇතැම් රජයේ ආයතන ඩෙංගු තවාන් බවට පත් වී තිබෙනු පෙනේ. එමෙන්ම කොළඹ නගරය ප්‍රමුඛව ප්‍රධාන

රටවල මහා පරිමාණ ඉදිකිරීම් ආශ්‍රිතවද ඩෙංගු කාරකයන් ව්‍යාප්ත වීමේ පරිසරයක් නිර්මාණය වී තිබේ. නගරවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලියද විධිමත් නොවේ. මේ සියල්ල නිසි නියාමනයකට ලක් නොකර සෞඛ්‍ය අංශවලට තනිවම ඩෙංගු මර්දනය කළ නොහැක.

ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සඳහා කිහිපදෙනකු විසින්ම ගෘහස්තව පරිහරණය කළ හැකි උපකරණ නිපදවා ඇත. ඒවාට අනුග්‍රහය ලබාදී නිෂ්පාදනය කළ යුතුය. මාර්ග දෙපස කානු පද්ධතිය ඩෙංගු ව්‍යාප්තියට ප්‍රධාන වශයෙන් බලපායි. එහෙත් ඒ පිළිබඳ වගකීම ගැනීමට කෙනෙක් නොමැත. මේ සියලු කරුණු අනුව කිව හැක්කේ මෙවර වැසි සමයේ ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමට දැන් සිටම පියවර ගත යුතු බවය.

මාතෘකා