සමෘද්ධිමත් සමාජයක් සඳහා

සමෘද්ධිමත් සමාජයක් සඳහා

සමෘද්ධි නිලධාරීන් 14000කගේ සේවය ස්ථිර කිරීමේ තීන්දුව එම රැකියාලාභීන්ගේ සිත් පිනවන පුවතක් බවට පත්වනු නිසැකය. ඊට හේතුව ඔවුන්ගේ සේවය ස්ථිර කිරීමේ ඉල්ලීම දිග්ගැසෙමින් පවතින එකක් වූ හෙයිනි. මේ ගැටලුව සහ තවත් බොහෝ හේතු නිසා සමෘද්ධි නිලධාරීන් දේශපාලන ව්‍යාපාරවල අතකොලු බවට පත්වීමේ විභවයක්ද නිර්මාණය වී තිබිණ. මෙහි ප්‍රතිඵලය වූයේ ඔවුන්ට පැවරී ඇති අතිමහත් වගකීම නිසියාකාරව ඉෂ්ට නොවීමය.

1995 අංක 30 දරන සමෘද්ධි අධිකාරිය මඟින් සමෘද්ධි වැඩසටහන ආරම්භ වූයේ පොදු පෙරමුණු ආණ්ඩුව යටතේය. අඩු ආදායම්ලාභී ජනතාවට සහනාධාර ලබා දීම සහ ඔවුන් බලගැන්වීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම එහි ඉලක්කය විය. බැංකු සංගම් උපපද්ධති පහක් යටතේ ක්‍රියාත්මක විය. පස්දෙනාගේ කණ්ඩායම යනු එහි පාදමයි. ඉතිරි කිරීම්, ස්වයංරැකියා, පුහුණු වැඩසටහන් යනාදී වශයෙන් ජාලගත වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදි.

2018 වන විට සමෘද්ධි නිලධාරීන් 27000 දෙනකු සේවයෙහි යොදවා තිබීමෙන්ම එහි වැදගත්කම පෙනේ. ජනසවිය මෙන්ම සමෘද්ධියද දිළිඳු බව පිටුදැකීම ඉලක්ක කරගත්තේය. මේ වැඩසටහන් අපේක්ෂිත අරමුණු කරා ගියේ නම් ලංකාවේ ගැමි දරිද්‍රතා දර්ශකය 7.6ක් නොවන බව නිසැකය. එසේ නම් කොතැනක හෝ වරදක් තිබිය යුතුය. ඒ වරද අසවලා බාර ගත යුතු යැයි බෝලය පාස් කරගන්නවාට වඩා වැදගත් වන්නේ පූර්ණ සමාලෝචනයක් සිදු කර වැඩසටහන යාවත්කාලීන කිරීමය. නැති නම් එය අපතේ යන විශාල ආයෝජනයක් වනු නිසැකය.

සමෘද්ධි වැඩසටහන අඩු ආදායම්ලාභීන් ඉලක්ක කරගත් එකක් වන හෙයින් එහි දේශපාලන බෙදීම් තිබිය නොහැක. එහෙත් එය මුලින් ආරම්භ වූයේද දේශපාලන පත්වීම් ලබා දීමෙනි. මේ නිසා සමෘද්ධි නිලධාරීන් දේශපාලන අඩයාළමක් කරගැනීමේ හැකියාව දේශපාලකයන්ට ලැබිණ. මේ අනුව වෙනස් මත දැරීම නිසා සමෘද්ධිය අහිමි කිරීමේ තර්ජනවලට මුහුණදීමටද සමෘද්ධිලාභීන්ට සිදු විය.

මෙය හොර ඡන්ද 50 බැගින් දැමීම හා ඡන්දපොළට කඩාවැදීම දක්වා දුරදිග ගියේය. මේ බලපෑම්වලට එරෙහිව සමෘද්ධි නිලධාරියෙක් අධිකරණයේ පිහිට පැතීය. ඔහු එයින් ජය ලැබුවේය. එම නඩු තීන්දුවට අනුවද සමෘද්ධි නිලධාරීන් දේශපාලන වැඩවල යෙදවීම නීති විරෝධීය. ඒ නිසා සමෘද්ධි නිලධාරීන්ද නීතියට අනුව කටයුතු කර වෘත්තීය ගෞරවය ආරක්ෂා කරගත යුතුය. සමෘද්ධි අරමුදල් යනු ජනතා අරමුදල්ය. ඒවා වෙනත් කටයුතුවලට භාවිත කිරීම නීති විරෝධීය.

ශ්‍රී ලංකාවේ දිළිඳු ජනයා නඟාසිටුවීමේ වැඩසටහන් අතීතයෙහි පටන් ක්‍රියාත්මක වී ඇත්තේ තමන්ට පාලනය කළ හැකි හීලෑ මිනිසුන් තනාගැනීමේ අඩයාළමක් ලෙසය. ජනසවිය සහ සමෘද්ධිය ක්‍රියාත්මක වූයේ ඊට වෙනස් වූ වැඩපිළිවෙළවල් හැටියටය. එහෙත් කලක් යෑමේදී අරමුණු අමතක වී වෙන වෙන කටයුතු ඉස්මතු විය. මේ අනුව දිළිඳු බවේ විෂම චක්‍රය එලෙසම ක්‍රියාත්මක වෙයි. රාජ්‍ය සේවය ආර්ථිකයට දරාගත නොහැකි තත්ත්වයක තිබෙන අවස්ථාවක සමෘද්ධි නිලධාරීන් 14000කට ස්ථිර පත්වීම් ලබා දීම විවාදාපන්න කරුණක් විය හැකිය. එහෙත් ඔවුන්ට පැවරෙන වගකීම නිසියාකාරව ඉටු කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම නිවැරදිව කරන්නේ නම් එය සුභ ඵල ගෙනෙනු ඇත.

මාතෘකා