අවසාන විසඳුම ඝාතනයද?

අවසාන විසඳුම ඝාතනයද?

උසස් පෙළ පාසල් සිසුවකුට තවත් සිසුවෙක් පිහියෙන් ඇන මරා දැමීම මේ දිනවල දේශපාලන බල අරගලයටද වඩා ප්‍රමුඛ මාතෘකාවකි. ඝාතනය පිළිබඳ රූප රාමු රූපවාහිනි නාළිකාවකින් ප්‍රදර්ශනය කිරීමෙන් මාධ්‍යද ආචාරධර්ම කඩ කළේය.

යුද සමයෙහි තරගකාරී අන්දමින් මස්වැදලි ප්‍රදර්ශනය කිරීමෙන් වාර්තා තැබූ මාධ්‍යට මෙය අමුත්තක් නොවූවාද විය හැකිය. අපගේ අවධානය යොමු වන්නේ මාධ්‍ය හැසිරීම පිළිබඳ සාකච්ඡාවකට නොවේ. ප්‍රචණ්ඩත්වයේ අක්මුල් සොයා පිළියම් යෙදීම පිළිබඳවය.

එකලට වඩා මෙකල මාධ්‍යයෙහි පුළුල් වීම අනුව අපරාධ පිළිබඳ අවධානය වැඩිය. මේ නිසා අපරාධවල සංඛ්‍යාත්මක වැඩි වීමක් පිළිබඳ කථිකාවක් ද පවතී. පොලිස් වාර්තා අනුව පෙනෙන්නේ අපරාධ වැඩි වීම හදිසියේ ඇති වූවක් නොව කලක් තිස්සේ ක්‍රමිකව සිදු වූවක් බවය.

දහම් අධ්‍යාපනයට කෙරෙන වියදම් වැඩි වීමට සාපේක්ෂව අපරාධ අඩු වීමක් නොපෙනීමෙහි රහස නම් අපරාධ වැඩි වීම කෙරෙහි හේතු ගණනාවක් බලපා තිබීමයි.

ප්‍රසිද්ධියේ ශික්ෂා පද කියමින් ධර්මය ගැන දෙසාබාන ප්‍රභූවරුන්ම විවිධ අපරාධ චෝදනාවලට ලක් වන විට හැඟෙන්නේ පරමාදර්ශ හිඟ වීමය. මෙය සෑම ක්ෂේත්‍රයකටම පොදුය.

චරිතාදර්ශ පොතට සීමාවීමෙන් පලක් නොවේ. ව්‍යවහාර ජීවිතයෙන් ලැබිය යුතුය.

ඝාතනයට මුල් වූ ගැටුම සිදු වී ඇත්තේ සිසුන් අතරය. එයින් හැඟෙන්නේ ගැටුම් නිරාකරණය කිරීමේ ක්‍රමවේද පිළිබඳ ශික්ෂණයක් හා අවබෝධයක් ඔවුනට ලැබී නැති බවය.

තම ටියුෂන් පන්තියට සිසුන් අද්දවා ගැනීමේ අරමුණ ඇතිව එකම විදුහලේ ගුරුවරුන් ළමුන් ඉදිරිපිටම ගැටෙන සමාජයක හැදෙන දරුවන්ගේ මානසික ස්වභාවය අමුතුවෙන් කිව යුතු නැත.

ප්‍රචණ්ඩත්වය වෙනුවට සියුම් හැඟීම් ඇති කිරීම අධ්‍යාපනයෙහි එක් අරමුණකි. සෞන්දර්ය කලා සහ මානව ශාස්ත්‍ර විෂයයන් විෂයමාලාවට එක් කර ඇත්තේ එම පරමාර්ථයෙනි. එම විෂයයන් කෙමෙන් කප්පාදුවට ලක් වීමෙහි ප්‍රතිඵලය සියුම් හැඟීම් මරාදමන ලද පරපුරක් ඇති වීමය.

අධ්‍යාපනයෙහි පරමාර්ථය අනෙකා පාගා ඉදිරියට යෑම බවට පත් ව ඇත. මානව ගරුත්වය, ආත්ම පරිත්‍යාගය හා අන් මත ඉවසීම යන ගුණාංග එහිදී අහෝසි වෙයි.

දරුවන්ගේ කාලයෙන් විශාල කොටසක් ටියුෂන් පන්තිවලට දිය වේ. මේ නිසා ඔවුන් දිවි ගෙවන්නේද අසහනකාරී පරිසරයකය. බොරු වීරයෝ ඔවුන්ගේ ලෝකවල ලැගුම් ගනිති. දැනුමෙන් හා බුද්ධියෙන් ජය ලැබීම වෙනුවට අතින් පයින් දිනීම එහි ප්‍රතිපලයකි.

යොවුන් වියෙහි ප්‍රේමණීය හැඟීම් ඇති වීම ස්වාභාවිකය. ද්විතීයික ලිංගික ලක්ෂණ ඇතිවනුයේ හෝර්මෝන ක්‍රියාකාරිත්වය අනුවය. එහිදී ඇති වන කුතුහලය මුසු ශෘංගාරාත්මක හැඟීම් කළමනාකරණය හා මුදා හැරීම අනෙකාට කරදරයක් නොවන ආකාරයෙන් කිරීම පිළිබඳ ශික්ෂණයක් යොවුන් අයට අවශ්‍ය වේ. ප්‍රේමය අහිමි වීම දැඩි වෛරයක් බවට පත් වන්නේ එම ශික්ෂණය නොමැතිකම හා ආත්මාර්ථකාමය ප්‍රේමය ලෙස වරදවා වටහා ගැනීම හේතුවෙනි.

රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශය කෙරෙන අවරගනයේ ටෙලි නාට්‍ය වෛරීය හැඟීම් ජනිත කරනසුලුය. ප්‍රේමය අහිමි වීම හෙවත් ශෝකයේ මධුර බව වස්තු කොටගත් කවි කතා සහ ගීත සාහිත්‍යයෙහි ස්පර්ශය යොවුන් පරපුරට නොලැබේ.

ටියුෂන් මඩුවලට දරුවන් ගාල් කරන වැඩිහිටියන්ට මේ ගැන අවබෝධයක්ද නැත. කෝකටත් තෛලය මෙන් බෝධි පූජාවලට ළමයින් දක්කාගෙන යෑම මවුපියන්ගේද සිරිතය. මේ නිසා සිදුවන්නේ සියුම් හැඟීම් මිරිකා හළ කුහක අඥානයන් පිරිසක් බිහි වීමයි. එල්ලුම් ගස් කෙළින් කිරීමෙන් මේ ගැටලුව විසඳිය නොහැක. ඊට වඩා බරපතළ සමාජ මැදිහත් වීමක් අවශ්‍ය වේ.

මාතෘකා