කට මැත දෙඩවීම

කට මැත දෙඩවීම

මුඛයට බ්‍රේක් ඔයිල් දමන්නේ නැති නමුත් හික්මීම සහ විනය විසින් මුඛයෙන් පිටවන වචනවලට තිරිංග යොදයි. කිවයුත්ත හා නොකිවයුත්ත තීරණය කරන්නේ එකී තිරිංග මඟිනි. හිතට එන සියල්ල වචන ලෙස වමාරනවා නම් එක්කෝ එය ඔහුගේ 'මෝඩකමය'. නැත්නම් තක්කඩිකමය.

කට නිසා වැඩ වරද්දාගත් අය බොහෝ වෙති.

"ඉහළින් හඬාගෙන යන්නේ කුරුමිණියා

පහළින් හඬාගෙන යන්නේ ගොන් ටිකියා

පාරට නමාගෙන කන්නේ එරමිණියා

කට රැක නොගත්තොත් විපතක්‌ ගෙන දෙයියා" කියා කියමනක් වෙයි.

ඊටත් වඩා ප්‍රකට කියමනක් වන්නේ 'මාළුවා නහින්නෙත් කට හින්දා' යන කතාවය.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා 'අධිකරණ තීන්දු' ගැන 'කටමැත' දොඩවා තිබේ. ඒ රූපවාහිනී නාලිකාවක දේශපාලන වැඩසටහනකට එක් වෙමින්ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින තීරණාත්මක නඩුවක් සම්බන්ධයෙන් හෙතෙම ස්වකීය 'මෝඩකම' හෝ 'හිස් පණ්ඩිතකම' පෙන්වන්නට ගොස් මේ කතාව පිටකර තිබේ.

මීට පෙරද මේ මන්ත්‍රීවරයා අධිකරණය සම්බන්ධව ආන්දෝලනාත්මක අදහස් දක්වා තිබේ. අධිකරණය යනු ප්‍රායෝගිකව අති පූජනීය දෙවොලක් නොවූවද, චිත්‍රපටයක විහිළුවක් සේ ඔහු දකිනවාද කියා දන්නේ නැත. නමුත් ඔහු සෙල්ලමට ගන්නේ මෙරට අනාගතයට අතිශය තීරණාත්මක අධිකරණ තීන්දුවක් නම් ඒ සෙල්ලම වහා නතර කළ යුතුය.

නීතියේ ක්‍රියාත්මකභාවය ගැන නොයෙක් කාලවලදී නොයෙක් ආකාරයේ විවේචන මහජනතාවට ඇත. එම විවේචනවලට පාදක වූ අධිකරණ තීන්දු බහුතරය සම්බන්ධයෙන් වෙන වෙනම සලකා බැලූ විට ඒවා බොහොමයක් විවේචනයට බඳුන් වීමට හේතු වී ඇත්තේ දේශපාලනික බලපෑමක් ඇති බවට පොදු පිළිගැනීමක් පැවතීමයි. එසේ තිබියදී එවැනි අධිකරණ තීන්දු සම්බන්ධයෙන්, දේශපාලකයන්ව බේරා අධිකරණය වෙත දොස් පැවරීමට දේශපාලකයන්ම කටයුතු කිරීම ජුගුප්සාජනකය.

ඈත උදාහරණය එස්. බී. දිසානායක අමාත්‍යවරයාය. ඉන් අනතුරුව මෑත වසර කිහිපය තුළ ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරුවරු දෙදෙනකු ධුරයෙන් පහ කිරීමේදී එල්ල වූ දේශපාලනික බලපෑම් සම්බන්ධයෙන්ද විවෘත චෝදනා ඇත. එසේ තිබියදී, රාජ්‍ය පාලනයේ කුලුනු ත්‍රිත්වය එකිනෙක හා ගැටෙන අන්දමේ හිතලු සමාජගත කිරීමට ව්‍යවස්ථාදායකයේ නියෝජිතයකු උත්සාහ දැරීම නින්දිතය.

වර්තමාන අගවිනිසුරුවරයා දශක තුනකට අධික විනිසුරු අත්දැකීම් ඇති අයෙකි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුකරුවෝ 9 දෙනාම අත්දැකීම් බහුල පුද්ගලයෝය. හුදෙක් සමාජ මතවාද සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බෙදා වෙන කෙරෙන සීමාව කුමක්දැයි ඔවුහු හොඳින් දනිති. රටේ දේශපාලන වතාවරණ වෙනස්කම්, අධිකරණ ක්ෂේත්‍රයට සහ යුක්තියට කළ යුතු බලපෑමෙහි සීමාව ඔවුහු අත්දැකීමෙන්ම වටහාගෙන සිටිති. අධිකරණමය තීන්දු, අනාගතයේ පූරවාදර්ශ බවට පත්වන බවද, ඒ හරහා ඇති විය හැකි වියවුල්වල ස්වභාවයද විනිසුරුවරුන්ට කියා දීමට තරම් හැකියාවක් හෝ හයියක් රන්ජන් රාමනායකට නොමැති බව පැහැදිලිය.

පසුගිය දිනක පාර්ලිමේන්තුව තුළ කලහකාරී ලෙස හැසිරුණු බවට චූදිත ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා විසින් කථානායකවරයාගේ ආරක්ෂාවට පැමිණි පොලිස් නිලධාරීන්, සැබෑ පොලිස් නිලධාරීන් නොවන බවට ප්‍රකාශ කළේය. එසේ තීරණය කිරීමට හේතුව ලෙස ඔහු දැක්වූයේ එකී පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමෙහි නිල අංක තහඩු සහ ලාංඡන රහිත වීමයි. එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, පොලිස් නිලධාරීන් පාර්ලිමේන්තු සභා ගර්භයට ඇතුළු වීමේදී එවැනි සම්ප්‍රදායයක් අනුගමනය කරන බව දන්නේ නැත.

පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාටම, මෙරට රාජ්‍ය පාලනයේ මූලික අංග පිළිබඳව මූලික දැනුම ලබාදෙන පංති පැවැත්වීම යෝග්‍යයැයි අපට යෝජනා කිරීමට සිදුව තිබේ. රටේ පාලනයට අතිශය සංවේදී කරුණු පිළිබඳව නොදන්නා 'මඟුල්' කතා නොකිරීමට ඔවුන් වගබලා ගැනීම මහජනතාවගේ සහ ඔවුන්ගේ 'සෞඛ්‍යයට' හොඳක් මිස නරකක් නොකරනු ඇත.

මාතෘකා