කොමිෂන් සභාවල වැදගත්කම දැනුණු මොහොතක්

කොමිෂන් සභාවල වැදගත්කම දැනුණු මොහොතක්

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ කීර්තිමත් නිලධාරියකු වන ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා මහතාගේ ස්ථාන මාරුව අත්හිටුවීම ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය අගය කරන ජනතාවගේ බලාපොරොත්තු ඉහළ නැංවීමකි. යහපාලනය යනු දේශපාලන පක්ෂයක් හෝ පක්ෂ සම්මුතියක් නොව ක්‍රියාදාමයකි. පොලිස් පරීක්ෂකවරයාගේ ස්ථාන මාරුව අවලංගු කිරීමේ හැකියාව ලැබුණේ ස්වාධීන පොලිස් කොමිසමක් ස්ථාපිතව තිබූ හෙයිනි. මෙය සියලු රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නැවත සිතා බැලීමේ අවස්ථාවකි.

ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කෙරුණේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගිනි. ඒ අනුව කොමිෂන් සභාවල සභාපතිවරුන් හා සාමාජිකයන් පත් කිරීමේ වගකීම ව්‍යවස්ථාදායක සභාවට පැවරිණ. මෙය ඉතා දියුණු සංකල්පයකි. එහෙත් 2005 දේශපාලන පෙරළියෙන් පසුව 18 වැනි සංශෝධනය මඟින් කොමිෂන් සභාවලට නියෝජිතයන් පත් කිරීමේ බලය විධායකයට ලැබිණ.

2015 ආණ්ඩු පෙරළියෙන් පසුව ගනු ලැබූ ඉතා වැදගත් තීන්දුවක් වන්නේ 19 වැනි සංශෝධනය මඟින් කොමිෂන් සභා ස්වාධීන කිරීම හා ශක්තිමත් කිරීමය.

මානව හිමිකම් කොමිසම, පොලිස් කොමිසම, අධිකරණ කොමිසම, මැතිවරණ කොමිසම හා රාජ්‍ය සේවා කොමිසම යනාදී ආයතන ස්වාධීනව ක්‍රියාත්මක වීම රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමකි. මේ අනුව රාජ්‍ය සේවකයන් දේශපාලන බලපෑම්වලට ලක් වීම හා පළි ගැනීම වැළැක්වේ. පත්වීම්, ස්ථාන මාරු හා උසස්වීම් පටිපාටිය විධිමත් වේ. දූෂණයෙන් තොර වේ.

ඒ නිසා නිශාන්ත සිල්වා මහතාගේ ස්ථාන මාරුව අවලංගු කිරීම ඉතා වැදගත් සිදුවීමකි.

නිශාන්ත සිල්වා මහතා බරපතළ ගණයේ අපරාධ ගණනාවක් පිළිබඳ පරීක්ෂණ කටයුතු විශිෂ්ට අයුරින් මෙහෙයවීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද අනෙකුත් බොහෝ ආයතනවලද කීර්තිය දිනාගත් විශිෂ්ට වෘත්තිකයෙකි. මෙබඳු නිලධාරීන් දිරිගැන්වීම හා ආරක්ෂා කිරීම වෙනුවට ඔවුන් දුර්මුඛ කිරීම හා ජීවිත අවදානමක් ඇති කිරීම ශිෂ්ට සමාජය කිසි විටක අනුමත නොකරනු ඇත.

මීට දශකයකට පමණ පෙර බොරැල්ල පොලිසියේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයකු වූ ඩග්ලස් නිමල් සහ ඔහුගේ බිරිය මහමඟදී ඝාතනයට ලක් කෙරිණ. අගනුවර කුඩු ජාවාරම්කරුවන් කොටුකිරීමේ මෙහෙයුමේදී ඊට සම්බන්ධ පොලිස් ලොක්කෙකුද අනාවරණය වීම නිසා පාතාලයෙන්ද පොලීසියෙන්ද ඔහුට තර්ජන එල්ල විය. ඩග්ලස් නිමල් ඝාතනයට ලක් වූයේ කුඩු ජාවාරම්කරුවන් පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කරන්නට සූදානම් වූ මොහොතේදීය. මේ පිළිබඳ අද වන තුරු කිසිදු පරීක්ෂණයක් සිදු වී නැත.

මේ නිසා බොහෝ පාර්ශ්වවල අවධානයට ලක්ව සිටින නිශාන්ත සිල්වාගේ ජීවිතාරක්ෂාව සහතික කිරීම පොලිස්පතිවරයා ප්‍රමුඛ පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමකි.

එය කොමිෂන් සභාවල වගකීමෙන් ඔබ්බට ගිය එකකි.

කොමිෂන් සභාවල ස්වාධීන ක්‍රියාකාරිත්වය රටේ යහපතට හේතු වේ. ඒවා සම්මත වූයේද සියලු පක්ෂවල දායකත්වයෙනි. ඒ නිසා කවර ආණ්ඩුවක් බලයේ පැවතුණද කොමිෂන් සභා ස්වාධීනව ක්‍රියාත්මක වීම, එම ආණ්ඩුවල ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම සහතික කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවකි. දේශපාලන පක්ෂවලද නායකයන්ගේද කීර්තියට හේතුවන්නකි. මේ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම හැම අතින්ම සුබදායකය.

කොමිෂන් සභා පිහිටුවීමට මුල් වූ පාර්ශ්වවල වගකීම වන්නේ ඒවාට කෙනෙහිලිකම් කරමින් ඒවා දුර්මුඛ කිරීම නොව ඒවා ආරක්ෂා කිරීමය. එය පාලකයන්ගේ දේශපාලන සෞඛ්‍යයට මෙන්ම පාලිතයන්ගේ ආරක්ෂාවටද වැදගත් වෙයි.

මාතෘකා