30 හැවිරිදි පළාත් සභාව සහ නිල් චිත්‍රපට

30 හැවිරිදි පළාත් සභාව සහ නිල් චිත්‍රපට

පළාත් සභා සංස්ථාපනය කොට මෙම නොවැම්බර් මස 19 වැනිදාට වසර තිහක් සම්පූර්ණ විය. 1987 දී අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම් ප්‍රකාරව මෙරටට පළාත් සභා ක්‍රමය ලැබිණි. මුලින්ම පළාත් සභා මැතිවරණයක් පවත්වන්නේ 1988 නොවැම්බර් 19 වැනිදාය. ඒ මීට හරියටම වසර 30කට පෙරය.

පළාත් සභාව ‘සුදු අලියකු’යැයි සමහරු කියන නමුත් එයින් සිදුවූ සේවයද නොතකා හැරිය නොහැක. පිටිසර ප්‍රදේශවල මංමාවත් තැනීම, පාලම්, බෝක්‌කු ආදිය සකස්‌ කිරීම, විදුලිය ලබා දීම ආදී කාර්යයන් මෙතරම් ඉක්‌මනට සාර්ථක වූයේ පළාත් සභා නිසාය.

පළාත් සභා ක්‍රමයට හරියටම වසර තිහක් පිරෙනදා බස්නාහිර පළාත් සභාවේ 2019 'අයවැය' ඉදිරිපත් විය.

දෙකම වැදගත්ය.

එහෙත් සමහර මහජන නියෝජිතයන්ට ඒ දෙකටම වඩා වැදගත් වැඩක් තිබිණි. ඒ වනාහී සිය මේස මත සවිකොට තිබූ නවීන පරිගණක තුළින් 'නිල් චිත්‍රපට' බැලීමය.

2019 බස්නාහිර පළාත අයවැය වාර්තාව මහ ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන අතරේ මහජන නියෝජිතයන් කිහිපදෙනකු 'නිල් චිත්‍රපට' නරඹා තිබෙන බවට පුවත් පළවිය. බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැඟිල්ල කෝටි ගණනක වියදමක් දරා ඉදිකරන ලද්දකි. එය නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත අතර සෑම මන්ත්‍රී ආසනයකටම නවීන පරිගණක යන්ත්‍ර සවිකර තිබේ.

'වඩාත් ඵලදායි මහජන සේවයක්' සැලසීම මේ සියල්ලෙහි අරමුණ වන අතර මන්ත්‍රීවරු 'නිල් චිත්‍රපට' බලමින් සිටියේ එකී ආදර්ශ පාඨය කුළුගන්වමින්දැයි කිව නොහැක.

ඔවුන් නිල් බැලීම ගැන අපට 'රුදාවක්' නැත. එය ඔවුන්ගේ වැඩකි. එහෙත් අපට තිබෙන ප්‍රශ්නය වන්නේ තීරණාත්මක 'අයවැය' ඉදිරිපත් කරන අතරේ පළාත් සභාවේ අන්තර්ජාල සම්පත් යොදාගෙන කරනු ලැබූ මේ 'අශීලාචාර' කටයුත්ත ගැනය.

අයවැයේ තිබුණේ මොනවාදැයි කියා 'නිල් බැලූ' කිසිවකු දන්නවා විය නොහැක.

2019 සඳහා බස්නාහිර පළාතට ඇස්තමේන්තු මුළු වියදම රුපියල් මිලියන 81,261 කි. එය 2018 වසරට වඩා රුපියල් මිලියන 9635ක ඉහළ යාමකි.

මෙයින් සෑහෙන වැය බරක් පළාතේ මහජන නියෝජිතයන් වෙනුවෙන්ද දරන්නට සිදුව තිබේ.

මෙවැනි තීරණාත්මක 'අයවැය' කතාවක් අතරේ නිල් චිත්‍රපට බලමින් නිස්කාරණේ කල් මැරීම නියෝජිතයින්ට තරම් වේද?

සාමාන්‍යයෙන් පළාත් සභාවේ රැස්වීම් පැවැත්වෙන්නේ මසකට දෙවරකි. එයද පැය හතරහමාරක කාලයකි. මේ පැය නවයට රුපියල් එක්ලක්ෂ පනස් දහසකට වැඩි වැටුපක් උපයා ගන්නට මන්ත්‍රීවරු වාසනාවන්ත වෙති. සියලු දීමනා සහිතව එය ලක්ෂ තුනකට වැඩි ආදායමකි. කාර්යාල දීමනා, ලිපිද්‍රව්‍ය දීමනා, වාහන බලපත්‍ර වැනි වරප්‍රසාද ද බොහොමයකට ලැබේ.

ශ්‍රී ලංකාව තවදුරටත් චින්තන දුප්පත්කමින් මිදී නැත. ඒ නිසා නූතන සංකල්ප සහ තාක්ෂණය පිළිබඳව තවදුරටත් මෙරට තුළ පවතින්නේ 'අවරගණයේ' ආකල්පයකි.

'පීස්' එක වෙනුවට 'කේස්' එක පමණක් භාවිත කිරීමේ ස්වභාවය ශ්‍රී ලංකාවට ආවේණික තත්ත්වයකි. මීට වසර 10කට පමණ පෙර මෙරටට 'ලැප් ටොප්' පරිගණකය පැමිණි අතර ඒ සමඟ බෑගයක්ද තිබිණි.

එහෙත් පදික වේදිකා පුරා අලෙවිවෙමින් තිබුණේ 'ලැප්' එක වෙනුවට 'බෑග්' එකය. ජනතාව අඩු මිලට බෑගය මිලට ගෙන එය එදිනෙදා දෑ ගෙනයන 'මල්ලක්' බවට පත් කර ගත්හ.

බස්නාහිර පළාත් සභාවේ නියෝජිතයන්ගේ මේසවලට පරිගණක තිර සවිකොට අන්තර්ජාල පහසුකම් ලබා දෙන්නේ දිගුකාලීන දැක්මක් ඇතිවය. නවීන ලෝකය අපේක්ෂා කරන්නේ තාක්ෂණය සහ ලෝකය සමඟ යාවත්කාලීන වන නියෝජිතයෝය.

එහෙත් ඊට වඩා 'නිල් චිත්‍රපටයක්' බලා යාවත්කාලීන වීම යෙහෙකැයි ඔවුන් සිතුවා වන්නට පිළිවන.

මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණන 225කි. පළාත් සභා මන්ත්‍රීවරු ගණන 455කි. නගර සභා මන්ත්‍රීවරු ගණන 445කි. මහ නගර සභා මන්ත්‍රීවරු ගණන 417කි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ගණන 4386කි.

ඔවුන් නියෝජනය කරන්නේ මෙරට දෙකෝටියක් ඉක්මවූ ජනතාවගේ ප්‍රාර්ථනාවන්ය.

තක්කඩිකම් කිරීමට, නිල් චිත්‍රපට බලමින් පිස්සු නැටීමට, මහජන දේපළ විනාශ කිරීමට මේ කොදෙව්වේ කිසිම පුරවැසියකු සිය මනාපය පළ කර නියෝජිතයකු තෝරා යවන්නේ නැත.

එහෙම ජනතා ප්‍රාර්ථනාවන් සමඟ ඩෙඟා නටන නියෝජිතයන් වෙත්නම් ඔවුන් ගැන තීන්දුව ගැනීමේ අයිතියද පුරවැසියා සතුය. එයට කියන්නේ පරමාධිපත්‍ය බලය කියාය. සරලව කීවොත් 'ඡන්දයෙන්' කරන්නේ එකී බලය පෙන්වීමය.

එය නිවැරදිව පාවිච්චි නොකරන තාක් කල් නියෝජිතයන් කරන්නේ 'පිස්සු' නැටීමම පමණි.

මාතෘකා