ඉඩම් නිදහස් කිරීමේ තරගය

ඉඩම් නිදහස් කිරීමේ තරගය

උතුරු නැෙඟනහිර ඉඩම් නිදහස් කිරීම තරගයක් බවට පත්ව ඇතැයි කෙනෙකුට පෙනී යා හැකිය. ඒ තරමටම එය සංවේදී මාතෘකාවක් බවට පත්ව ඇත. ඉඩම් නිදහස් කිරීම ප්‍රමුඛ මාතෘකාවක් බවට පත් කිරීමෙන් පෙනෙනුයේ වරින්වර එසේ කිරීමේ වුවමනාවක් ඉස්මතු වන බවය. එම ප්‍රශ්නය නිමාවට පත්ව නොමැති බවය. එනිසා එහි පසුබිම සැලකිල්ලට ගත යුතුය.

යුද්ධය පැවති සමයේ ආරක්ෂක හමුදාවල කටයුතු සඳහා ඉඩම් අවශ්‍ය විය. එල්ටීටීඊ සංවිධානයද තම කටයුතු සඳහා ඉඩම් භාවිත කළේය. මෙහිදී යුද්ධය නිසා රට හැර ගිය අයගේ ඉඩම් මෙන්ම පදිංචිකරුවන්ගේ ඉඩම්ද සැලකිය යුතු ප්‍රමාණයක් පාර්ශ්ව දෙක විසින්ම භාවිතයට ගැනිණ. මෙයින් සිදු වූයේ විශාල ජන පිරිසකට උන් හිටි තැන් හා තම ජීවන වෘත්තීන් අහිමි වීමය. කඳවුරුවල දශක තුනක් පමණ ජීවත් වන්නට සිදු වීමෙන් සමාජ ආර්ථික ගැටලු රැසක් නිර්මාණය විය.

එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීමෙන් පසුව ඔවුන් යටතේ තිබූ ඉඩම් නිකම්ම නිදහස් විය. එහෙත් එම ඉඩම්වලින් සැලකිය යුතු කොටසක බිම් බෝම්බ වළලා තිබූ නිසා ඒවා ක්‍රමානුකූලව ඉවත් කිරීමේ වගකීම රජය විසින් ඉටු කරන ලදි. එය ඉතා දිගු කලක් ගතවන කාර්යයකි. එය තවමත් ක්‍රියාත්මක වේ. ඉඩම් නිදහස් කළද වසර තිහකට ආසන්න කාලයක් කැනඩාව ඇතුළු බටහිර රටවල ජීවත්වෙමින් ඒ පරිසරයට අනුගත වූ ජනයා නැවත පැමිණේ යැයි සිතිය නොහැක. එවැනි විශ්වාසයක් ඇති වන අන්දමේ සහජීවන පරිසරයක් මෙරට නිර්මාණය වී ඇතැයිද කීම අපහසුය. ඊට හේතුව සහජීවන ක්‍රියාවලියට බාධා පැමිණීමය.

එම විශ්වාසය තහවුරු වන තුරු ඔවුන් ඒ පිළිබඳ සැලකිලිමත් වේ යැයි සිතිය නොහැක. අධිආරක්ෂිත කලාප හැටියටද ඇතැම් ඉඩම් ආරක්ෂක අංශ විසින් නම් කර තිබිණි. මෙහිදී ඉඩම් ප්‍රශ්නය අතිශයින් අදාළ වන්නේ ස්වකීය ඉඩම් කැබලිවල ජීවත්වෙමින් කෘෂිකර්මය, ධීවර කර්මාන්තය හා විවිධ ජීවන වෘත්තීන්හි යෙදුණු ජනතාවටය. යුද්ධය පැවති සමයේ අවතැන් කඳවුරුවල ජීවත් වූ ඔවුන්ට ආරක්ෂාව පතා වෙනත් රටවලට යෑමේ හැකියාවක් නොතිබිණ. මේ නිසා යුද්ධය අවසන් වීමෙන් පසුව තම ඉඩම් ඉක්මනින් නිදහස් කර ගැනීමේ අවශ්‍යතාව ඔවුන්ට විය.

ආරක්ෂක අංශ වහාම ඉඩම් නිදහස් කිරීමට ප්‍රමාද වූයේ ඔවුන්ගේ පාර්ශ්වයෙන් ලත් කටුක අත්දැකීම් අනුවය. නැවත අනාරක්ෂිත තත්ත්වයක් ඇති වේය යන බියද ආරක්ෂක අංශවලට විය. අනෙක් ප්‍රශ්නය වූයේ ඉහළින් ලැබුණු උපදෙස් අනුව ඇතැම් ඉඩම් හමුදාව භාරයේ තබා ගනිමින් හෝටල් සහ ගොවිපළ යනාදිය පවත්වා ගෙන යෑමය. මෙය ඉඩම් අහිමි වූ ජනයාගේ සිත් රිදවන කරුණක් විය.

මේ නිසා උතුරු නැෙඟනහිර ඉඩම් අහිමි ජනතාව තම අයිතිය ඉල්ලා උද්ඝෝෂණය කිරීම දක්වා ගැටලුව සංකීර්ණ විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද උගත් පාඩම් කොමිසම නිර්දේශ කළ පරිදි ඇතැම් ඉඩම් නිදහස් කළ නමුත් එය ප්‍රමාණවත් නොවීය. මෙය ජාත්‍යන්තර අවධානයටද ලක් විය. මානව හිමිකම් කවුන්සිලයද මේ ගැන අවධානය යොමු කළේය.

2015 ආණ්ඩු පෙරළියෙන් පසුවද ඉඩම් ලබා දීම කඩිනමින් ක්‍රියාත්මක නොවීය. උතුරු නැෙඟනහිර පවරාගත් ඉඩම්වලින් 90%ක් නිදහස් කර ඇති බවත් ඉතිරි ඉඩම් දෙසැ.31 වන විට නිදහස් කරන බවත් මෑතදී ජනාධිපතිවරයා පැවසීය. ඔහු අනුව යමින් ඇතැම් පාර්ශ්වද දෙමළ දේශපාලන පක්ෂ පිනවීම සඳහා ඉඩම් පොරොන්දු දෙන්නට වූහ.

උතුරේ ඉඩම්වලින් 10%ක් නිදහස් කර ඇති බව 2011 නොවැම්බර් මස පැවති උත්සවයකදී හිටපු ආරක්ෂක ලේකම්වරයාද ප්‍රකාශ කළේය. යහපාලන ආණ්ඩුව ඉඩම් නිදහස් කරමින් උතුර අනතුරේ හෙළනවා යැයි චෝදනා කළ පාර්ශ්වද මේ දිනවල ඉඩම් නිදහස් කිරීමේ පොරොන්දු දීම හාස්‍යජනකය. උතුරු නැෙඟනහිර ඉඩම් අයිතිකරුවන්ට ලබාදීම දේශපාලන වාසියට කළ යුත්තක් නොවේ. එය ව්‍යවස්ථාවෙන්ද තහවුරු කර ඇති අයිතිය ලබා දීමකි. ඒ අයිතිය පිළිගැනීම හා ඒ අනුව කටයුතු කිරීම පාලකයන්ගේ වගකීමය. එය හිඟන්නාගේ තුවාලය මෙන් ඉදිරියට ගෙන යෑම යුක්තියුක්ත නොවේ. එනිසා අරමුණු කුමක් වුවත් ඉඩම් ප්‍රශ්නය විසඳීම වැදගත්ය.

මාතෘකා