විනයවත් පාර්ලිමේන්තුවක්

විනයවත් පාර්ලිමේන්තුවක්

'විනයගරුකව හැසිරෙන්නැයි' මෙරට යොවුන් පාර්ලිමේන්තුවෙන් 'පාර්ලිමේන්තුවට' ලිපියක් යවමින් ඉල්ලා තිබේ. යොවුන් පාර්ලිමේන්තුව යනු 2011 වසරේදී ජාතික තරුණ සේවා සභාව කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරන ලද්දකි. එය ආණ්ඩු දෙකක් යටතේ ක්‍රියාත්මක වූවකි. ගම් මට්ටමේ සිටින තරුණ නායකයෝ යෞවන සමාජ ක්‍රියාකාරිකයන්ගේ ඡන්දයෙන් තේරී පත්ව යොවුන් පාර්ලිමේන්තුවේ නියෝජිතයන් බවට පත් වෙති.

ශ්‍රී ලාංකේය යෞවන යෞවනියන්ගේ නායකත්ව හැකියාවන් වර්ධනය කර, නිවැරදිව හා ගුණාත්මකව දේශපාලන කටයුතුවල නිරත කරවීම යොවුන් පාර්ලිමේන්තුවේ අරමුණයි.

පාර්ලිමේන්තු ක්‍රමවේදය හා සම්ප්‍රදායන් පිළිබඳව තරුණ පිරිස දැනුවත් කිරීම, අනාගතයේදී ආදර්ශමත් මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවට දායාද කිරීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීම, මන්ත්‍රීවරයකුගේ භූමිකාව පිළිබඳව තරුණ පරපුර තුළ අවබෝධයක් ඇති කිරීම, යොවුන් පාර්ලිමේන්තු තීරණයන් පිළිබඳ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ගේ අවධානය යොමු කරවීම, තරුණ පිරිස තුළ නායකත්ව ගුණාංග වර්ධනය කිරීම ආදිය යොවුන් පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වේ.

ඔවුන් පූර්වාදර්ශ ලෙස ගන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි.

නැවත සටහන් කරමු.

'ඔවුන් පූර්වාදර්ශගන්නේ' ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙනි!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් අමතා යොවුන් පාර්ලිමේන්තුව කරනු ඉල්ලීමෙහි මෙවැන්නක් වෙයි.

'පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආරක්ෂා කරමින්, පාර්ලිමේන්තුව තුළ විනයවත්ව හැසිරීමටත්, වෙනත් මත දැරුවද අනෙකාට එම මතය දැරීමට ඇති අයිතියට ගරු කරමින් හා ඊට සවන් දෙමින් තම මතය සංයමයෙන් ඉදිරිපත් කරන්නටත් නොදන්නා ඕනෑම මහජන නියෝජිතයකුට ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු සැසිවාරයක් නරඹා ඒ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට හැකි බවද අපි සිහිපත් කරමු.'

පාර්ලිමේන්තුව අද වන විට පත්ව තිබෙන ඛේදනීය මුහුණුවරට කවුරු කවුරුත් වගකිව යුතුය. 'කාගේ කාගේත් කිල්ලෝටවල හුණු' මේ පිරිහීමට හේතු වූ බව සත්‍යයකි.

අතින් පයින් පමණක් නොව; පොත්පත්වලින්ද ගහගන්නවා දැකගන්නට ලැබිණි. සමහරු අත පිහිය. (අදාළ නියෝජිතයා කියන්නේ එය පෑනක්! කියාය.) එක් නියෝජිතයකු සරම උස්සා සභාවට පෑවේය. පොර බැදීම්, කනට ගැසීම්, බදාගැනීම්, පයින් ගැසීම් ඇතුළු තවත් ආරවුල් බොහෝ විය.

1931දී සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසුව තෝරා පත්කර ගන්නා ලද ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව පනස් දෙනකුගෙන් සමන්විත වූ අතර, ඉන් 18 දෙනකුම නීතිඥයෝ වූහ. එක් ඉංජිනේරුවරයෙක් මෙන්ම වෛද්‍යවරු දෙදෙනෙක්ද ඒ අතර වූහ. ගුරුවරු සහ ව්‍යාපාරික කිහිප දෙනකුද පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි අතර, ඉඩම් හිමි වැවිලිකරුවෝ 15 දෙනෙක්ද ඒ අතර වූහ.

මහජන නියෝජිතයින් සියලු දෙනාම මහා වියතුන් විය යුතු නැත. ඔහු අට පාස් අයකු වුවද ඔහුට විනයක් සහ හැදියාවක් තිබිය යුතුය. එකී හැදියාව සහ විනය ඔහු මහා වියතකු බවට පත් කරනු ඇත. ඒබ්‍රහම් ලිංකන් මහා ප්‍රාඥයෙක් නොවේ. එහෙත් ඔහු අසහාය දේශපාලකයෙකි.

අපේ පාර්ලිමේන්තුවේ නැත්තේද එවැනි අයය.

පාර්ලිමේන්තුවේ දිනක වියදම රුපියල් දෙකෝටි පනස් ලක්ෂය ඉක්මවන බව පැවසේ. ඉකුත් වසරේ සැසි වාර 95ක් පවත්වා ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි 245 කට අධික මුදලක් වැය වී තිබේ. අවාසනාවට ඒ දිනවල පවා බොහෝ නියෝජිතයන් සහභාගි වී නැත.

තත්ත්වය මෙය නම් 'යොවුන් පාර්ලිමේන්තුව' ආදර්ශ ගන්නේ කාගෙන්ද?

පාර්ලිමේන්තුව යනු ලංකාවේ ව්‍යවස්ථාදායකය හැඳින්වෙන නම බවත්, ව්‍යවස්ථාදායකය යනු රටට අවශ්‍ය නීති සම්පාදනය කරන තැන බවත්, එය උත්තරීතර ආයතනයක් බවත් යනාදී ලෙස දීර්ඝ අර්ථකථන තිබේ.

එහෙත් පාර්ලිමේන්තුව ගුටි ඇන ගන්නා තැනක් බවට පත් කරගන්නේ නම් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් වියදම් කළ යුතු නැත. එළිමහන් තැනකට වී මුදල් වියදම් නැතිව ගුටි ඇන ගැනීම යෙහෙකි.

මාතෘකා