ජනතා පරමාධිපත්‍යයට සරදම් නොකරනු

ජනතා පරමාධිපත්‍යයට සරදම් නොකරනු

ජනතා පරමාධිපත්‍ය යන යෙදුම මේ දිනවල බරසාර අන්දමින් යොදාගනු පෙනේ. එහෙත් එසේ කිරීමේ අරමුණ දුෂ්ට එකකි. එනම් ජනතා පරමාධිපත්‍යය හෑල්ලුවට ලක් කර එයට වැරදි අර්ථකථන දීමය. අවසානයේදී පරමාධිපත්‍ය බලය යනු ජනනායකයකු තමන්ට වුවමනා පරිදි තීන්දු ගැනීම යැයි පවසන අන්දමේ බරපතළ විකෘති කිරීම් අසන්නට ලැබිණි.

අප කවුරුත් දන්නා පරිදි පරමාධිපත්‍ය බලය ජනතාව සතු දෙයකි. ජනතාව තම ඡන්දය මඟින් එම බලය දේශපාලකයාට පවරයි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍ය‍වස්ථාවට අනුව එය පැහැදිලි කර ඇත්තේ මෙසේය.

3 වැනි ව්‍යවස්ථාවට අනුව ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව සතුය. පරමාධිපත්‍ය බලය අත්හළ නොහැක. පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය පරමාධිපත්‍ය බලයට අයත්ය. 4 වැනි ව්‍යවස්ථාවට අනුව ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීම හා භුක්ති විඳීම තුන් අයුරකින් සිදු වේ. ජනතා ඡන්දයෙන් පත් වන මහජන නියෝජිතයෝ ව්‍යවස්ථාදායකය මගින් එය කරති. ජනතාවගේ ඡන්දයෙන් පත් වන ජනාධිපතිවරයා පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරයි. ජනතාවගේ අධිකරණ බලය ව්‍යවස්ථාපිත අධිකරණය මගින් ක්‍රියාත්මක කෙරේ. අධිකරණය එහිදී ව්‍යවස්ථාදායකය හා විධායකය අතර බලය ක්‍රියාත්මක වීම සංවරණ හා තුලන මූලධර්ම අනුව සිදුවේ දැයි වගබලා ගනී.

මේ දිනවල පරමාධිපත්‍ය පිළිබඳ නන් දොඩවන ඊනියා දේශපාලන විචාරකයෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහත දැක්වෙන මූලධර්ම නිශේධනය කරති. එසේ කරනුයේ වැල යන පැත්තට මැස්ස ගසා තම පැවැත්ම සුරක්ෂිත කර ගැනීම පිණිසය. අගමැතිවරයකු සිටියදී හොර පාරෙන් අගමැතිවරයකු පත් කිරීමේ කූට උපක්‍රමය ජනමාධ්‍යයේ හයිය අතට ගෙන වසන් කළද අධිකරණය ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමට පියවර ගත්තේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු තක්කඩියන්ට වුවමනා හැටියට තමන්ගේ වාසියට වගන්ති උපුටා දක්වමින් ජනතාවට හතුරුකම් කිරීම සඳහා බැඳගත හැකි මුඛවාඩමක් නොවේ.

ව්‍යවස්ථාවේ වගන්ති තමන්ට වුවමනා හැටියට අර්ථ දක්වමින් ඒකාධිපතියකු සේ කටයුතු කිරීම රාජ්‍ය නායකයකුගේ ප්‍රතිපත්තිය වේ නම් එම පරමාධිපති බලය ආපසු ගැනීම ජනතාවගේ වගකීමය. එය තීන්දු වන්නේ මැතිවරණයකිනි.

එහෙත් ඊට පෙර විධායකය අත්තනෝමතික වීමට හා ව්‍යවස්ථාදායකය තඹේකට මායිම් නොකර කටයුතු කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකිය. මෙහිදී සිදු වන්නේ ව්‍යවස්ථාවේ ඇති පරිදි ජනතා පරමාධිපති බලය ක්‍රියාත්මක කිරීම ව්‍යවස්ථාවෙන් උදුරා ගැනීමද විධායකය පරමාධිපති බලය අත්තනෝමතිකව පාවිච්චි කිරීමද නැවැත්වීමය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ලක්ෂණය එයයි. අධිකරණයේ ස්වාධීනත්වය එහිදී වැදගත් වේ. ඉංග්‍රීසියෙන් බණ කියා පාතාල සේවනයෙන් නඩු තීන්දු දුන් අගවිනිසුරුවරුන්ද සිටි රටක අධිකරණය පිළිබඳව තිබූ අඳුරු චිත්‍රයද වෙනස් වෙමින් පවතී. එය සතුටු විය හැක්කකි. එහෙත් එබඳු දූෂිතයන් රාජ්‍ය නායකයන්ගේ කේවට්ට උපදේශකයන් වීම ඔවුන්ටද රටටද හානිකරය.

19 වැනි සංශෝධනය මඟින් විධායක බලය සීමා කළ සමයක ව්‍යවස්ථාවට පටහැනිව යමින් කටයුතු කිරීම වැරදි බවට නියම සංඥාවක් ලැබී තිබේ. එම සංඥාව ලැබී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවීම බලරහිත කරමින් අතුරු තහනම් නියෝගයක් දුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙනි. ජනතා පරමාධිපත්‍යය බලය සමඟ සෙල්ලම් කිරීමට සැරසෙන අයට එය හොඳ පාඩමකි.

මීට පෙරද ඒකාධිපතියන් ඉතිහාසයේ කුණු බක්කියට වැටුණු අවස්ථා තිබේ. ඒකාධිපති පාලනයේ වියරුව වෙනුවට නිදහස රජයන පාලනයක් වෙනුවෙන් ඇති වූ සම්මුති ආණ්ඩුවක් ලෙස යහපාලන ආණ්ඩුව සැලකේ. ජනතා සම්මුතිය එහිදී බලවත්ය. අධිකරණයේ ක්‍රියාදාමය කුමන දිසාවට තල්ලු වුවද ජනතා පරමාධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටීම සහ අරගල කිරීම අපගේ වගකීමය.

මාතෘකා