ඡන්ද පොරොන්දු

ඡන්ද පොරොන්දු

ලබන වසරේ මහ මැතිවරණයක් පැවැත්වෙන බවට කතාබහක් ඊයේ වනතුරුත් පැවැතිණි. එය හදිසියේ ඇතිවූ දේශපාලන කුණාටුවක ප්‍රතිඵලයකි. එය එසේ සිදු නොවුණත් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නියමිතය. මේ අනුව ජනතාව කුමන හෝ මැතිවරණයකට සූදානමින් සිටින බව පැහැදිලිය. මැතිවරණ දෙපාර්තමේන්තුවද මැතිවරණයක් සඳහා ඕනෑම වෙලාවක සූදානම් බව ප්‍රකාශ කළේය.

මැතිවරණයකට දින නියම වීමත් සමඟ දේශපාලන පක්ෂ අළු ගසා බසා දමා නැඟිටීම සාමාන්‍ය සිරිතයි. ආගම, සංස්කෘතිය, සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථිකය, සදාචාරය, දේශීයත්වය යනාදී බරසාර මාතෘකා පක්ෂ නායක නායිකාවන්ගේ දිවග ළෙල දෙන්නට පටන් ගනී. මළ ගෙවල්, කොටහලු මඟුල්, පිංකම්, පෙරහැර සහ දහඅට සන්නි යනාදී හැම අවස්ථාවක්ම මඟ නොහැර මහජනයා සමඟ කයිවාරු ගැසීම දේශපාලකයන්ගේ සිරිතකි. මැතිවරණාසන්නයේ ඡන්ද දායකයන් පිනවීම සඳහා අත දිගහැර වියදම් කිරීම ඔස්සේ ප්‍රතිපක්ෂ අපේක්ෂකයන්ට වඩා තමන්ට මුදල් හදල් හා සමාජ බලය ඇති බව ඇඟවීමද දේශපාලකයන්ගේ සිරිතය.

මහජනයා මෙවැනි පුද්ගලයන්ට කැමති වන්නේ මෙවැනි බලගතු පුද්ගලයන්ට සමීප වීමෙන් තමන්ටද යමක් කරගත හැකි වේය යන ආකල්පයෙනි. තම දරුවන්ට රැකියා ලබා දීම, ජනප්‍රිය පාසලක් ලබා දීම, පොලිසියට බලපෑම් කර නඩු හබවලින් නිදහස් වීම යනාදී නහුතයක් කරුණු මෙහිදී ජනතා කැමැත්ත තීන්දු වීම කෙරෙහි බලපායි. එහිදී පුද්ගලයා කවුරු වුණත් කමක් නැත. මේ අනුව බහුතර කැමැත්තෙන් මහජන නියෝජිතයන් ලෙස තේරී පත්වන පුද්ගලයන්ගෙන් බහුතරය කඳබඩ සහ හයිකාරකම පමණක් ඇති පුද්ගලයන් වීම වැළැක්විය නොහැකිය. එම ලක්ෂණ නොමැති, මුදල් හා සමාජ බලය නොමැති, මහජන සේවය පරම කොට සලකන මානව හිතවාදියකු මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහුට ඇපත් නැතිව ගෙදර යෑමට සිදුවනු ඇත.

මේ කුමක් වුවද මහජනයාගේ සැබෑ අභිලාෂය තේරුම්ගත් දේශපාලකයා දැන උගත් ජනතාව රැවටීම සඳහා බරසාර පොරොන්දු දෙති. ඒවා වචනවලට පමණක් සීමා වෙයි.

උදාහරණයක් ගනිමු.

රටේ දැවෙන ප්‍රශ්නයක් වන රැකියා ප්‍රශ්නය විසඳන බව මැතිවරණවලදී දේශපාලකයෝ පොරොන්දු දෙති. එහෙත් බලය ලැබීමෙන් පසුව රැකියා අවස්ථා හිමිවන්නේ මැතිවරණයේදී උදවු කළ පවුල්වල අයටය. රජයේ බැංකු වැනි ආයතනවලට බඳවා ගැනීමේදී අනුගමනය කළ පිළිගත් ක්‍රමවේදය පවා බැහැර කරමින් දේශපාලන අත පෙවීම් සිදුවූ ඉතිහාසයක් මෙරට පවතී.

පවත්නා දේශපාලන ක්‍රමය ජාඩියට මූඩිය මෙන් ඡන්දදායකයාටත් දේශපාලකයාටත් ගැළපේ. එය වෙනස් කිරීමද අතිශය දුෂ්කර කටයුත්තකි. විෂම කොට නොසලකන සාධාරණ සමාජයක් පිළිබඳ අපේක්ෂාවක් මහජනයාට ඇතැයි කිසිවකුට කිව හැකිය. එවැනි සමාජතීරුවක් සිටින බව අසත්‍යයක් නොවේ. එහෙත් බහුතර ජනතාවගේ මතය එය නොවන බව දත යුතුය. අල්ලපු ගෙදර එකාට කෙළවා දමා තමන්ගේ එකාට කරවා ගැනීමේ දේශපාලන චින්තනය මේ රටේ මහජනතාවගේ දේශපාලන චින්තනය යැයි කීමෙහි වරදක් නොපෙනේ. එසේ සිතන මතන ඡන්දදායකයන් ජීවත් වන රටක බල ලෝභයෙන් තොර යහපත් දේශපාලකයන් සිටී යැයි සිතීමද මළම මළ විකාරයකි.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යැයි අප නිදහසෙන් පසුව පවත්වාගෙන ගොස් ඇත්තේ පිරිහුණු මජර දේශපාලන ක්‍රමයකි. එය වෙනස් කිරීමට දැරූ හැම උත්සාහයක්ම අවසන් වී ඇත්තේ පැතූ දේ ඉටු නොවූ කලකිරීමෙනි. ඒ කලකිරීම ඇත්තේ ටික දෙනකුටය. බහුතරය දුක මිහිරක් කොට ගෙන කුණපය සොඳුරු ඕවිල්ලක් කරගෙන දැහැමෙන් සෙමෙන් ජීවත් වෙති. එවැනි තවත් නරනාටකයක් දැක ගැනීමේ අවස්ථාව ළඟදීම උදාවනු ඇත. ඔව්. මැතිවරණයක් සමඟ ඡන්ද පොරොන්දු අත ළඟ!

මාතෘකා