දේශපාලන කුණාටුව ඡන්දදායකයාගේ ඇසින්

දේශපාලන කුණාටුව ඡන්දදායකයාගේ ඇසින්

අන් කවර කලකටත් වඩා මහජනයා අතර දේශපාලන උනන්දුවක් ඇතිවූ සමයක් ලෙස මේ අවධිය හැඳින්විය හැකිය. මෙරට ඡන්දායකයා අර්ථකථනය වී ඇත්තේ දේශපාලන සබුද්ධික බවෙන් තොර සුබ සාධන සහ වරදාන අනුව තීන්දු ගන්නා අයකු හැටියටය. එහෙත් දේශපාලන සබුද්ධික බව සාමූහිකව අවදි වීම අනුව දේශපාලන පෙරළි සිදු වූ අවස්ථාද ඇති බව සිහිපත් කළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යස්වථාව යනු මහජනයාගෙන් දුරස් වූ මාතෘකාවකි. පසුගිය කාලයෙහි දියත් වූ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියද මහජනයාගේ ඉහට උඩින් ගිය ක්‍රියාවලියක් බවට පත් වූයේ ජනතා දායකත්වය අවම වීමෙනි. ඒ සඳහා ක්‍රියාත්මක වූයේ දුර්වල යාන්ත්‍රණයකි. එහෙත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඇණහිට තිබෙන මේ මොහොතෙහි දැනට ඇති ව්‍යවස්ථාව ගැන බිම් මට්ටමේ කතිකාවතක් කිසිවකුගේ ඇණවුමකින් තොරව ක්‍රියාත්මක වෙයි. ඊට හේතුව ව්‍යවස්ථාවේ වගන්තියක් මුල් කර ගනිමින් දේශපාලන කුණාටුවක් නිර්මාණය වෙමින් තිබීමය.

ඒ කුණාටුව කුමන දිසාවට හමා ගොස් කොපමණ විනාශයක් කරයිද යන්න දැන්ම කිව නොහැක.කෙසේ නමුත් මේ නිසාම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති පිළිබඳ හරබර කතා, ආන්තික සමාජ තීරු අතර පවා දියත් වෙමින් පවතී. මේ කතා බහ ඇතැම් ආගමික පාර්ශ්වවල මුග්ධ ප්‍රකාශවලට වඩා බරසාරය. ඇතැම් නීති පණ්ඩිතයන්ගේ පඩත්තර කතාවලට වඩා අව්‍යාජය.

මේ වනාහි දේශපාලන පක්ෂයක එක් වගකීමක් හරිහැටි ඉටු නොවූ විට එය බලාපොරොත්තු නොවූ අවස්ථාවක ක්‍රියාත්මක වීමය. ඒ වගකීම නම් ජනතාව දේශපාලන වශයෙන් දැනුවත් කිරීමය. එය ඉටු නොකරන දේශපාලන පක්ෂ උත්සාහ කරන්නේ ඡන්දදාකයන් තම වහලුන් වශයෙන් තබා ගැනීමය. ඡන්දදායකයා නැටවිය නොහැකි සංක්‍රාන්ති සමයක් ලෙස හැඳින්විය හැකි මෙසමයෙහි හිතාමතා, විමසා බලා නිගමනවලට එලඹීමේ අවස්ථාව ඡන්දදායකයාට ලැබී ඇත.

අනෙක් අතින් මේ වනාහී දේශපාලන පක්ෂවල හැසිරීම පාක්ෂිකයන්ට නිරාවරණය වන කදිම අවස්ථාවකි. පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිකම, ප්‍රජාතන්ත්‍රවිරෝධී අයුරින් ප්‍රතිපක්ෂ සාමාජිකයන් නිහඬ කිරීම හෝ බාගැනීමට උත්සාහ දැරීම, නීතිය සහ අධිකරණයට සරදම් කිරීම, යටිපෙළ නායකත්වයක් ගොඩ නගනු වෙනුවට දිගින් දිගටම නායකත්වයෙහි එල්ලී සිටීම, පක්ෂ අරමුදල් පාෂිකයන්ට වසන් කිරීම, පිල් මාරු කිරීම ඔස්සේ තමන්ට ඡන්දය දුන් ඡන්දදායකයාගේ අයිතින් විනාශ කිරීම යනාදී වශයෙන් මේ ලැයිස්තුව දිගු වේ. එමෙන්ම එකම පිළක හිඳ එකට තීන්දු ගෙන ක්‍රියාත්මක කර, පසු කලෙක විරුද්ධවාදීන් වීමෙන් ඉක්බිතිව සිදු වූ වැරදි එක මල්ලකට බැර කිරීමේ උත්සාහයද ජුගුප්සාජනකය.

මේ චෝදනා අඩුවැඩි වශයෙන් සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයකටම අදාළය. එපමණක් නොව, දේශපාලන පක්ෂවලට ඇති ළැදියාව අනුව කහින ඊනියා ආගමික පාර්ශ්වවලටද අදාළය. ව්‍යවස්ථාව කන්නටදැයි අසන පිංගුත්තරයන්ට මෙන්ම ව්‍යවස්ථාව පැත්තකට දමා වැඩ කරමු යැයි දේශපාලන නායකයන්ට ප්‍රසිද්ධියේ උපදෙස් දෙන, විඥාන විඝටනයට ලක් වූ "මහා ලේඛකයන්ට"ද අදාළය.

දැන් පවතින අර්බුදය කවර අන්තයකින් කෙළවර වේදැයි අනාවැකි කිව නොහැක. එහෙත් අර්බුදය නිමවන විට මේ රටේ ඡන්දදායකයා දේශපාලන පක්ෂවල බංකොලොත් හැසිරීම ගැනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැනත් කලින් තිබුණාට වඩා දැනුමක් හා අවබෝධයක් ලබා තිබෙන බවට නම් සැකයක් නොමැත.ඒ අවබෝධය කට්ට කෛරාටික වූද බඩගෝස්තරවාදීවූද අවස්ථාවාදීන් වෙනුවට රට ගැන හා මිනිසුන් ගැන හැඟීමක් ඇති සැබෑ මහජන නියෝජිතයන් තෝරා පත්කරගැනීම සඳහා අවශ්‍ය විචාර බුද්ධිය සපයන බවට සැකයක් නොමැත.

වැදගත් වන්නේ එම අවබෝධය වරදාන හමුවේ විනාශ කර නොගැනීමය. ඇස් ගිනිකන වට්ටන මාධ්‍ය සංදර්ශන සත්‍ය ලෙස බාරගැනීම වෙනුවට එහි පසුබිම ගැන අවධියෙන් සිටීම වැදගත් වේ. නිදහසින් පසුව වත්මන දක්වාම එක්සත් රටක සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමේ අවස්ථාව මහජනයාට ලබා දීමට අසමත් වූ දේශපාලන පක්ෂ මොන විසූක දස්සන මැව්වත් ඔවුන්ගේ අසමත්කම සැඟවිය නොහැක. එහෙයින් දැන් ඇති වී තිබෙන දේශපාලන කුණාටුව ඡන්දදායකයා සබුද්ධික අයකු බවට පත් කිරීමේ අවස්ථාවක් බවට පත් කර ගනිමු.

මාතෘකා