පරමාධිපත්‍යය අන්සතු නොකරමු

පරමාධිපත්‍යය අන්සතු නොකරමු

නැවතත් මැතිවරණයක් මුවවිටට පැමිණ තිබේ. සමහරු මෙය 'අකල්' මැතිවරණයක් ලෙස අර්ථකථන ඉදිරිපත් කරන අතර තවත් සමහරු මෙය 'විය යුතු' මැතිවරණයක් ලෙස තර්ක ගොඩනඟති.

ඉකුත් රාජපක්ෂ ආණ්ඩුව පරාජය කොට නව ආණ්ඩුවක් බිහි වූයේ 2015 ජනවාරි 8 වැනිදාය. මෙවර නව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ 2019 ජනවාරි 5 වැනිදාය. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 3 වැනි ව්‍යවස්‌ථාව අනුව 'ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්‌කේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලයද ඇතුළත් වන්නේය' යන ලෙස සඳහන්ව ඇත.

අත්හළ නොහැකි මේ බලය කෙතරම්ද යන්න ජනතාව තේරුම් ගෙන සිටිත්ද යන්න විමසීම වටී. ජනතා පරමාධිපත්‍යය යටතට ගැනෙන පාලන බලතල ගත් විට විධායක බලය ජනතාව විසින් තම ඡන්ද බලයෙන් තෝරා පත්කරන ජනාධිපතිවරයා විසින්ද, ව්‍යවස්‌ථාදායක බලය ජනතාව විසින් තෝරා පත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින්ද, අධිකරණ බලය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ විනිශ්චය අධිකාරි සහ ආයතන මඟින්, පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. ජනතා පරමාධිපත්‍යය යනු ඡන්ද බලය ලෙස අර්ථ දැක්‌වීම වරදක්‌ නොවේ.

ඒ අනුව ජනතාවට අන් කවරදාටත් වඩා 'තීරණාත්මක' අවස්ථවක් උදා වී තිබේ. ඒ තමන්ගේ 'ඡන්දයට' සාධාරණය ඉටු කළ හා නොකළ අයට පාඩමක් කියා දීමේ අවස්ථාවය. පක්ෂ පාට නොසලකා ඒ පිළිබඳව තීන්දු ගැනීමේ බලය ජනතාවට හිමි වෙයි. ලොව කොතැනකවත් සොබාදහමේ තීන්දුවට පිටින් යා නොහැකිය. තම තමන්ට රිසි පරිදි එකී අවස්ථාව ගළපා ගත හැකිය.

රට නිදහස ලැබූ දා සිට මේ දක්වා පාර්ලිමේන්තු මැතිවරණ 16ක් තබා රටේ ව්‍යවස්ථාදායකයට මන්ත්‍රීවරු තෝරා පත්කරගෙන තිබේ. ඩොනමෝර් කොමිසම මඟින් ලංකාවට සර්වජන ඡන්ද බලය හඳුන්වා දුන්නේ 1931 වර්ෂයේදීය.

අද භාවිත කරන 'පාර්ලිමේන්තුව' 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණවලට අනුව රාජ්‍ය මන්ත්‍රණ සභාව ලෙසත්, 1947 සෝල්බරි ප්‍රතිසංස්කරණවලදී පාර්ලිමේන්තුව ලෙසත්, 1972 ජනරජ ව්‍යවස්ථාවට අනුව ජාතික රාජ්‍ය සභාව ලෙසත් අර්ථ දක්වා ඇත. 1978 ජනාධිපති ආණ්ඩුක්‍රමය යටතේ එය පාර්ලිමේන්තුව ලෙස අර්ථ දක්වා ඇත. නාම අර්ථය කුමක් වුවත් එයින් සිදුවන්නේ 'රටට ප්‍රතිපත්ති හදන ව්‍යවස්ථාදායක' කාර්යභාරයයි. එය උත්තරීතර වන්නේ ඒ නිසාය.

දෙකෝටියක ජනතාව ස්වකීය නියෝජිතයන් පත්කර හරින්නේ එතැනටයි. ඒ යන නියෝජිතයන් නියෝජනය කරන්නේ දෙකෝටියක් ඉක්මවූ ජනතාවගේ මතයයි.

මේ මොහොතේ රටවැසියා වෙසෙසින්ම විමසා බැලිය යුත්තේ තමා ඡන්දදායකයෙක්ද යන්න පිළිබඳවය. ඡන්දදායකයකු වීමේ වැදගත්කම පිළිබඳව තවමත් පුරවැසියන්ට නිසි අවබෝධයක්‌ නොමැති අතර වාර්ෂිකව පුද්ගලයන් ලක්‍ෂ පහක්‌ පමණ ඡන්දදායකයන් ලෙස ලියාපදිංචි නොවන බව පැවසේ. නොදැනුවත්කම, අනවබෝධය හා උනන්දුවක්‌ නොමැතිකම නිසා මේ තත්ත්වය හට ගනී.

ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය සුරැකෙනුයේ නිදහස්‌ හා සාධාරණ ඡන්ද විමසීමක්‌ තුළය. ඒ සඳහා සුදුසුකම් සහිත සියලුම පුරවැසියන්ගේ නම් ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි වී තිබීම අත්‍යවශ්‍ය කරුණකි.

දේශපාලනඥයන් සියල්ලෝම පාහේ හැල්මේ දුවන්නේ 'බලය' සොයාය. එහෙත් ඔවුහු බලය ලබා ගන්නේ ජනතාවගේ පරමාධිපත්‍යයෙනි. එකී පරමාධිපත්‍යය නොසලකා හැරීම 'පුරවැසියකුට' තරම් නොවේ. මක්නිසාද යත් එක් ඡන්දයක් පවා තීරණාත්මකව රටක අනාගතයට බලපෑම් කරන නිසාය.

මාතෘකා