නිල ඇඳුම් ලබාදීමේ ක්‍රමවේදය සකස් කිරීම

නිල ඇඳුම් ලබාදීමේ ක්‍රමවේදය සකස් කිරීම

පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාදීමේ ක්‍රමයක් කලක පටන් මෙරට ක්‍රියාත්මක වේ. මෙය නිවැරදිව ක්‍රියාත්මක කිරීම එය ආරම්භ කළ දේශපාලකයන්ටද කළ හැකි ගෞරවයකි. නිල ඇඳුම් ලබාදීම වෙනුවට වවුචර් ලබාදීමේ ක්‍රමය අහෝසි කර ගතව ඇත්තේ දින කිහිපයකි. එය ජන ජීවිතයට අදාළ සංවේදී මාතෘකාවකි.

නිල ඇඳුම් අවශ්‍ය වන්නේ දුප්පත් දරුවන්ටය. එහෙත් එය හැමෝටම ලබාදීමෙන් සිදු වූයේ රුපියල් කෝටි ගණනක ධන විනාශයකි. එනිසා අවශ්‍යතාව ඇති අයට පමණක් ලබාදීමේ ක්‍රමවේදයක් වුවමනා වී තිබිණ. මෙය කළ යුත්තේ දුප්පත් දරුවන්ගේ අනන්‍යතාවට හානියක් නොවන පරිද්දෙනි.

නිල ඇඳුම් ලබාදීමේදී මෙන්ම නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදීමේදීද විවිධ ගැටලු ඇති විය. ඒ ගැටලු නිරාකරණය කරගැනීමට අවස්ථාවක් ලැබී තිබේ. නිල ඇඳුම් ආනයනය කිරීමේ ක්‍රමවේදයෙහි තිබූ අඩුපාඩු නිසා වංචා දූෂණද සිදුවිය. එතෙරින් ගෙන්වන ලද බාල රෙදි වර්ණ ගන්වා ටෙන්ඩර්කරුවන් විසින් දූෂිත අයුරින් විශාල ලාභයක් වංචනිකව උපයාගත් බවට අනාවරණය වී තිබේ.

වවුචර් ක්‍රමය ක්‍රියාත්මක වූයේ එම අඩුපාඩු මඟහැරවීම පිණිසය. එහෙත් එහිද අඩුපාඩු තිබිණි. ලැබෙන වවුචරයට අනුව සුදුසු රෙදි කැබැල්ලක් මිලදී ගැනීම සඳහා දුෂ්කර ප්‍රදේශවල ගම්මුන්ට තවත් විශාල වියදමක් දරාගෙන ගමේ සිට දුර පිහිටි නගරය කරා යෑමට සිදුවීම එක් අඩුපාඩුවකි. තවත් අඩුපාඩුවක් වූයේ ලැබුණු මුදල අවශ්‍ය රෙදි ප්‍රමාණය මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් නොවීමය.

මුත්තයියා මුරලිදරන් ක්‍රීඩකයා බී.බී.සී. ගුවන්විදුලියේ සාකච්ඡාවකදී අපූරු හෙළිදරව්වක් කළේය. එනම් තමාට ලැබුණු වවුචරයෙන් රෙදි මිලදී ගත් පසු, ඇඳුම මසා ගැනීමට අවශ්‍ය මුදල් නොමැති වීමෙන් කලකිරී දිවිනසාගත් දැරියක් පිළිබඳ පුවතකි.

මෙහිදී මවුපියන්ගෙන්ද වරදක් සිදු විය. වවුචර් හෝ මුදල්වලින් කෙරෙන පරිත්‍යාගවලට වඩා ද්‍රව්‍යමය පරිත්‍යාගවලට ඇබ්බැහි වූ මනසක් මෙරට ජනයාට උරුම වී පවතී. පොහොර සහනාධාර සහ ඇඳුම් සහනාධාර යන දෙකෙහිදීම මේ ගැටලුව කැපී පෙනුණි. මෙය නිදහස ලැබූ දා පටන්ම පැවත එන සහනාධාරවලට වහල් වීමේ මානසිකත්වයෙහිම ප්‍රතිඵලයකි.

ඉතා දිගු කලක් සහල් කූපන් පත ඡන්දදායකයාගේ ඡන්දය තීන්දු කිරීමේ සාධකයක් බවටද පත්ව තිබිණ. ඉන්පසු කාලයේ ජනසවි සහ සමෘද්ධි දීමනා ඒ තැන ගත්තේය. ඇඳුම් හා පාසල් පෙළපොත් මිලදී ගත නොහැකි වීම නිසා පාසල් ගමන හමාර වන සුලුතරයක් සිටිය හැකි බවද අප පිළිගත යුතුය. ඔවුන් සඳහා විශේෂ වැඩසටහනක් හැටියට මෙය ක්‍රියාත්මක වීමේ වරදක් නැත.

මෙහිදී මහජන ආවේග සහ සංවේදීකම ප්‍රවේශමෙන් කළමනාකරණය කරගැනීම වැදගත්ය. වත්මනෙහි පාසල් සිසුන්ගේ වියදම් චක්‍රය අනුව මවුපියෝ දැඩි දුෂ්කරතාවකට මුහුණ දෙති. මේ නිසා ළමයකුට අධ්‍යාපනය ලබාදීම එක්තරා ආයෝජනයක්ව තිබේ.

විශාල වියදමක් දරා පාසල් පද්ධතියක් නඩත්තු කෙරෙතත් මවුපියෝ පෞද්ගලික පන්ති සඳහාද දරුවන් වෙනුවෙන් අධික වියදමක් දරති. ඒ වියදම් සමඟ සසඳන විට නිල ඇඳුම් ලැබීම සුළු හෝ සහනයක් විය හැකිය. එහෙත් අධ්‍යාපනය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් මවුපියන්ගේ බර හෑල්ලු කෙරේ නම් නිල ඇඳුම තවදුරටත් ආර්ථික බරක් නොවනු ඇත.

මාතෘකා